පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 04


ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිකමින් වෙන්නේ සල්ලි තියෙන අය පිටරට විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඉගෙනගන්න එක. ඒකෙන් වෙන්නේ නිරපරාදේ අපේ රටේ මුදල් වෙන රටවලට ගලාගෙන යන එකයි.

මේ අදහස ගත්තම එක පැත්තකින් ජාතිකවාදී අදහසක්. ගෝලීය ආර්ථිකයක්, විශ්වගම්මානයක් ගැන කතා කරන අය මේවා කියද්දි විහිළු සහගතයි. අපිට මේ අයගෙන් අහන්න තියෙන ප‍්‍රශ්නය තමයි, අධ්‍යාපනයෙදි විතරක් ඇයි මෙහෙම හිතන්නේ. හිතන්නකෝ ආර්ථිකයේ අනෙකුත් ක්‍ෂේත‍්‍රවලදිත් මේ විදිහට. අපේ ආර්ථිකය කියන්නේ සම්පුර්ණයෙන්ම දේශීය කර්මාන්ත මත පදනම්වෙච්ච, ලෝකයේ අනෙකුත් රටවල් එක්ක හරි සමාගම් එක්ක හරි කිසිම අකාරයක සම්බන්ධයක් නැති එකක් ද? නිදසුනක් විදිහට හාල් නිෂ්පාදනය කරද්දි අපි හිතන්නේ මෙහෙමද? පිටරටින් ගෙන්නන්න හොඳ නෑ, විදෙස් විනිමය අපතේ යනවා ඒ නිසා අපිට අවශ්‍ය තරම් අපි නිෂ්පාදනය කරමු කියලද? නෑ. නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දි නිෂ්පාදනය නොකර පිටරටින් ගේනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරපු වී, මහජන මුදල් වියදම් කරලා මිලදීගෙන, ගබඩාවල මීයොන්ට කන්න ඇරල, පිටරටින් හාල් ආනයනය කරනවා. එහෙම කරන ගමන් කියද්දි විදේශ විනිමය ඉතිරිකරගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන කියලා අපි ඒක පිළිගන්න ඕන ද?

උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල කියන විදිහට උපාධි ගන්න විදෙස්ගතවීම නිසා වසරකට රු. මිලියන 8000 ක් 9000ක් පමණ මුදලක් තමයි රටට අහිමි වෙන්නේ. ඔහු කියනවා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරාම මේ මුදල රටට ඉතිරි වෙනවලූ. නමුත් රටට අහිමිවන මිලියන 9000 ක් ගැන කිඹුල් කඳුළු හෙළන කිරිඇල්ල බිලියන ගණනින් රටට විදෙස් විනිමය අහිමිවන අනෙකුත් කිසිඳු ක්‍ෂේත‍්‍රයක් ගැන කතා කරන්නේ නෑ. ලංකාවේ නිෂ්පාදන කරන්න පුළුවන් දේවල් ගිය අවුරුද්දේ මිලියන කීයක ආනයනය කරා ද? සහල් රු. මිලියන 19681.19 සීනි සහ රසකැවිලි නිෂ්පාදන රු. 37060.66 කිරි නිෂ්පාදන රු. 36550.78 මේවට විතරක් මිලියන 93292.23 ක් ගිය අවුරුද්දෙ වියදම්. හැබැයි මොවුන් මේවා ගැන කතා නොකරන්නේ ඇයි? ලංකාව වටේට මුහුදක් තියාගෙන ටින් මාළු කරවල හාල් මැස්සෝ පවා පිටරටින් ගේන බංකොළොත් ආණ්ඩු විදේශ විනිමය ඉතිරි කරගන්න කියලා අධ්‍යාපනය බිල්ලට දෙන්නෙ රට ගැන හරි, රටේ ජීවත්වන මිනිස්සු ගැන හරි හිතල නෙවෙයි. අනිත් කාරණය තමයි දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරා කියලා විදේශ විනිමය පිටරටට ගලායන එක වළක්වනවා කියන එක පිළිගන්න බෑ. මොකද ආණ්ඩුව දිගටම විදෙස් ආයෝජකයින්ට ආරාධනා කරනවා ලංකාව තුළ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. එතකොට විදෙස් ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරලා ලාභ විදෙස් රටවලට ගෙනියන්නේ නැද්ද? අපි අහන්න කැමතියි මේ තර්කය ගේන පාලකයන්ගෙන් වගේම මේවා අපට තහවුරු කරන්න හදන ආණ්ඩුවේ ඒජන්තයින්ගෙන් දැන් ෑක්‍ඔ් වගේ ගිවිසුම් ගැහුවම ඉන්දියාවෙන් හරි වෙනත් රටවලින් හරි එන ආයෝකයො ලංකාවේ ව්‍යාපාර කරලා උපයන ලාභය ඔවුන්ගේ මව් රටවලට ගෙනියන්නේ නැද්ද? මේ පාලකයොම භාණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි සේවා වෙළඳ පොළත්, ප‍්‍රාග්ධන වෙළඳ පොළත් ගෝලීය ආර්ථිකයට විවෘත කරන්න දැනටමත් සැලසුම් සකස් කරලා ඉවරයි. මූල්‍ය අරමුදලත් එක්ක ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ගිවිසුම්වල මූලික එක`ගතාවයක් තමයි විදෙස් වෙළඳාමේදී අනුගමනය කරන ආරක්ෂණය ඉවත් කරන එක. එවැනි තත්ත්වයක් ඇතුළේ විදේශ විනිමය ඉතිරි කරගන්න කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනලූ. මේකට තමයි කියන්නේ කන්න ඕන උනහම කබරගොයත් තලගොයා වෙනවා කියලා.

ආණ්ඩුවට විදෙස් විනිමය ඉතිරි කරගන්න නම් අවශ්‍ය ඒකට ඕන තරම් ක‍්‍රම තියෙනවා. අධ්‍යාපනය බිලිදිය යුතු නෑ. රටක් පිටරටින් ගතයුතු දේවල් වගේම නොගත යුතු දේවලූත් තියෙනවා. එතනදි පිටරටින් ලබාගත යුතු දේවල් අතර විද්‍යාත්මක දැනුම, තාක්ෂණය වගේ දේවල් අපේ වගේ රටකදි ප‍්‍රමුඛයි. ඒ නිසා ලංකාවෙන් ශිෂ්‍යයෝ පිටරටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඒ රටවල තියෙන දැනුම. තාක්ෂණය, සංස්කෘතික වටිනාකම් අපේ රටට ගේන එක හොඳයි. එතනදි වැය වන විනිමය අපතෙ යෑමක් නෙවෙයි. හැබැයි අපි අපේ රටේදි නිපදවන්න පුළුවන්කම තියෙද්දි හාල් ආනයනය කරන්න ඕන නෑ. අල, මිරිස්, ලූණු, කහ, සීනි, කරවල මේවා ආනයනය කරන්න ඕන නෑ. මොකද මේවා ආනයනය හරහා විදේශ විනිමය රටට අහිමි වෙනවා විතරක් නෙවෙයි රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳවැටෙන්න සහ ලංකාවේ ගොවියා, ධීවරයා පාරට වැටෙන්නත් බලපානවා. ඒ නිසා හරි පැහැදිලියි මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ විදේශ විනිමය ඉතිරි කරගන්න තියෙන උවමනාවට නෙවෙයි.



"
ආණ්ඩුවට විදෙස් විනිමය ඉතිරි කරගන්න නම් අවශ්‍ය ඒකට ඕන තරම් ක‍්‍රම තියෙනවා. අධ්‍යාපනය බිලිදිය යුතු නෑ. රටක් පිටරටින් ගත යුතු දේවල් වගේම නොගත යුතු දේවලූත් තියෙනවා. එතනදි පිටරටින් ලබාගත යුතු දේවල් අතර විද්‍යාත්මක දැනුම, තාක්ෂණය වගේ දේවල් අපේ වගේ රටකදි ප‍්‍රමුඛයි. ඒ නිසා ලංකාවෙන් ශිෂ්‍යයෝ පිටරටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඒ රටවල තියෙන දැනුම. තාක්ෂණය, සංස්කෘතික වටිනාකම් අපේ රටට ගේන එක හොඳයි. "







අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>