පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 03

ඔබ මේ හුඹස් බියක් මවන්න නේද හදන්නේ? නිදහස් අධ්‍යාපනය යටතේ
පවතින විශ්වවිද්‍යාල වහල නම් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න යන්නේ,
මේ කියන දේවල් නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නේ
නෑ..

මේකත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන නිසා ගේන ජනප‍්‍රිය තර්කයක්. දැන් සමහරු හිතනවා රජයේ විශ්වවිද්‍යාල තියෙද්දි පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම මොකද, ඒකෙන් නිදහස් අධ්‍යාපනයට හානියක් වෙන්නෙ නෑනෙ කියලා. නිදහස් අධ්‍යාපනය කියලා අපි කියන්නේ අධ්‍යාපන ආයතන රජයේ හිමිකාරත්වය යටතේ පවතිනවා කියන එකම නෙවෙයි. අධ්‍යාපනය තුළ සම අවස්ථා හිමිවෙන තත්ත්වයකට තමයි අපි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඒ කියන්නේ ජාති, කුල, ආගම්, ස්ත‍්‍රී පුරුෂ, දුප්පත් පෝසත් භේදයකින් තොරව කාටත් පොදුවේ තමන් කැමති විෂය ක්‍ෂේත‍්‍රයක, තමන් කැමති භාෂාවකින්, තමන් කැමති දුරකට ඉගෙනගන්න ලැබෙන එකට. ඒකට තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් මේ අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවනම් ආයෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය වෙන්නේ නෑනෙ. නමුත් එහෙම තත්ත්වයක් රට තුළ නෑ. ඒ නිසා තමයි උසස් පෙළ සමත් වෙලත් ලක්ෂ ගානක් ශිෂ්‍යයින්ට උසස් අධ්‍යාපනය අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා කියන්නෙම, ඒ කියන්නේ මුදලට අධ්‍යාපනය විකිණෙන තත්ත්වයක් පවතිනවා කියන්නෙම එතන නිදහස් අධ්‍යාපනයකට ඉඩ නෑ. 

අනිත් කාරණය තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට නිදහස් අධ්‍යාපනයට බලපෑමක් වෙන්නේ නෑ කියන එක. ඒක මිත්‍යාවක් විතරයි. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න මේ තරම් ආයෝජකයෝ උනන්දු කියලා අපි හිතා බැලිය යුතුයි. අපේ රටේ දරුවෝ පව්, අසරණයි ඔවුන්ට යන්න විශ්වවිද්‍යාලවල ඉඩ නෑ, ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් හදමු කියල හිතල අනුකම්පාවෙන් ද මේ උපාධි කඩ දාන්නේ? නෑ. එහෙම අනුකම්පාවක් තියෙනවනම් ඇයි මේ තරම් ගිනි ගණන් අයකරන්නේ අධ්‍යාපනයට. සුදුසුකම් තියෙන හැමෝම මේ විශ්වවිද්‍යාලවලට බඳවානොගන්නෙ ඇයි? මේ අයගෙ අරමුණ අධ්‍යාපනය දෙන එක නෙවෙයි. අධ්‍යාපනය විකුණල ලාභ ලබන එක. ඔවුන් අද දන්නවා ලාභ උපයනව නම් ඒකට අධ්‍යාපනය, සෞඛ්‍ය තරම් වෙන ක්‍ෂේත‍්‍ර නෑ කියලා. මේ අය කොච්චර අනුකම්පා සහගතයි ද කියලා පෙනෙයි, 2014 අවුරුද්දේ මාලඹේ සයිටම් එකේ ලාභය දැක්කනම්. මේ අවුරුද්දේ විතරක් නෙවිල් ප‍්‍රනාන්දුගෙ ලාභය මිලියන 1265 යි. ඉතින් මේකට තමයි මේ උපාධි කඩ අරින්නේ. එහෙම නැතිව වෙන කැක්කුමකට නෙවෙයි. 

දැන් අපි දන්නවා මේ ආයෝජකයින්ට ඕන ලාභ. ඒ ලාභ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිකරගන්න. ඉතින් ඔවුන්ගේ ලාභය වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ කඩවලට එන පාරිභෝගිකයෝ වැඩිකරගන්න එකනේ. ඒ කියන්නේ ශිෂ්‍යයෝ බඳවාගැනීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන්න අවශ්‍යයි. එහෙනම් එතනදි ඔබ හිතනවද මේ අරමුණ ඉටුකරගන්න යද්දි නොමිලේ උපාධි දෙන රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙද්දි ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. බෑ. අපි හොඳටම දන්නවා නොමිලේ දෙන තැනකුයි, මුදලට දෙන තැනකුයි තිබුණොත් මිනිස්සු යන්නෙ මොකටද කියලා. නොමිලේ දෙන තැනට. නොමිලේ අවශ්‍ය නෑ, මිල අඩු සහ වැඩි වශයෙන් තැන් දෙකක් තියෙනව නම් මිනිස්සු යන්නේ මිල අඩු තැනට මිසක් මිල වැඩි තැනට නෙවෙයි. මේ අනුව බැලූවම හරි පැහැදිලියි පෞද්ගලික විශ්වවිද්‍යාලවල පැවැත්මට රාජ්‍ය විශ්වවිද්‍යාල තර්ජනයක්. එතකොට ටිකෙන් ටික රාජ්‍ය විශ්වවිද්‍යාල දුර්වල කරන එක වළක්වන්න බෑ. 

පෞද්ගලීකරණය සිද්ධවෙන ක‍්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සම්පුර්ණයෙන්ම රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම. ඊළ`ගට රාජ්‍ය ආයතන තියෙද්දි පෞද්ගලික අංශයටත් ඒ ක්‍ෂේත‍්‍රයට එන්න දීල තර`ගය ඇතුළේ රාජ්‍ය අංශය දිය කර හරින එකත් ක‍්‍රමයක්. තව එකක් තමයි රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් විකුණා දැමීම. දැන් මේකෙදි ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න අනුගමය කරන ක‍්‍රමය තමයි පෞද්ගලික අංශයට ඉඩ දීල රාජ්‍ය අංශය දුර්වල කරන එක. මේක ආණ්ඩුව ලංගමට කරා. සෞඛ්‍ය සේවයේදිත් යම් පමණකට කරා. සමහර රෝහල් තියෙනවා ඒවා නිකන් බෝඞ් ලෑලි විතරයි. ඒවට මිනිස්සු යන්නෙ නෑ. සමහර පාසල් තියෙනවා ඒවගෙ කිසිම පහසුකමක් නෑ. ඉතින් දෙමව්පියෝ දරුවෝ ඒවට දාන්න කැමති නෑ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කරන්න හදන්නෙත් ඒකම තමයි. අනිත් එක තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සමගාමීව රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් උපාධි විකිණීම පටන්ගනිමින් තියෙනවා. ප‍්‍රතිපාදන වෙන් නොකර විශ්වවිද්‍යාලවලට කියනවා නඩත්තුව හොයාගන්න උපාධි විකුණන්න කියලා. ඒකෙ අරමුණ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් උපාධි විකිණීම ඉදිරියට ගැනීම. ඒ අනුව බැලූවම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දුන්නොත් වැඩිකල් රාජ්‍ය විශ්වවිද්‍යාල මේ මට්ටමින් තියෙන එකක් නෑ. 

අනික රජයේ අරමුණ පෞද්ගලික විශ්වවිද්‍යාල දාන එක සහ අධ්‍යාපනය විකුණල ලාභ උපයගන්න එක වුණාම මොකද්ද වෙන්නේ කියන එක හරි පැහැදිලියි. ආණ්ඩුව සෑහෙන්න වලි කනවා පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ආයෝජකයෝ ගෙන්න ගන්න. ඉතින් ඒ සඳහා ඔවුන් බදු සහන දෙනවා, ණය ආධාර දෙනවා, නීතිමය ප‍්‍රතිපාදන හදනවා, මේ ආදී වශයෙන් නොකරන දෙයක් නෑ. එහෙම තත්ත්වයක් ඇතුළේ ඔබ හිතනව ද අධ්‍යාපනය විකුණලා ලාභ උපයන්න හිතන ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය රකියි කියලා. නගාසිටුවයි කියලා. කවදාවත් ඒක වෙන්නේ නෑ. දැන් දිගින් දිගටම ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන කපලා ඒක ඔප්පු කරල ඉවරයි. ඒ විතරක් නෙවෙයි පහුගිය ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාලවල බාහිර උපාධි දෙන එක අවුරුදු තුනක් නැවැත්තුවා. ඒකට හේතුව තමයි ආයෝජකයො කිව්වා ආණ්ඩුව අඩු මුදලට විශ්වවිද්‍යාලවලින් බාහිර උපාධි දෙද්දි අපේ විශ්වවිද්‍යාලවලට වැඩි මුදලට ඉගෙනගන්න ශිෂ්‍යයෝ එන්නෙ නෑ කියලා. ඉතින් ඒ නිසා ආණ්ඩුව කළේ බාහිර උපාධි නැවැත්තුවා. හැබැයි එහෙම බාහිර උපාධි නැවැත්තුවා කියල පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන ශිෂ්‍යයෝ ප‍්‍රමාණය වැඩි වුණේ නෑ. ඒ නිසා නවත්වපු බාහිර උපාධිය මිල වැඩි කරලා ආයෙත් පටන් ගත්තා. ඒකෙන් පැහැදිලියි ආණ්ඩුවට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රකින්න ද නැත්නම් විනාශ කරන්න ද කියලා. ආණ්ඩුවේ අරමුණ වැඩි පිරිසකට උපාධි දෙන එකනම් අඩු මිලට උපාධියක් ගන්න තිබුණ බාහිර උපාධියත් කප්පාදු කරයි ද? අනිත් එක තමයි දැන් ආණ්ඩුවට අවශ්‍ය උපාධි විකුණලා සල්ලි හම්බකරන එක නම් ඒක උපාධි කඩ ඇරල විතරක් නවත්වන්නේ නෑ. රජයේ විශ්වවිද්‍යාල තුළත් උපාධි විකුණන තැනට ගේනවා. මේක දැන් කොතලාවල ආරක්ෂක පීඨය තුළ පටන්ගෙන ඉවරයි. අනෙකුත් විශ්වවිද්‍යාල තුළත් ඇතැම් පාඨමාලා විකුණන්න පටන් අරන්. විවෘත විශ්වවිද්‍යාල තමයි මේ සඳහා හොඳම උදාහරණය. විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කළේ යම් සහනදායි පදනමකින්, රැුකියාවක් කරන කෙනෙක්ට වුණත් අවශ්‍ය නම් උපාධියක් දක්වා අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් හදන්න. හැබැයි මීට අවුරුදු කීපයකට පෙර ආණ්ඩුව විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු 80%කින් වැඩි කරා. ශිෂ්‍යයෝ විරුද්ධවුණු නිසා තමයි ඒ තත්ත්වය යම් පමණකට හරි වෙනස් වුණේ. නමුත් මේ උත්සාහය අවසන් නෑ. ආණ්ඩුව කල්පනා කරන්නේ විවෘත විශ්වවිද්‍යාලය උපාධි විකුණල ලාභ උපයන්න පුළුවන් ආයතනයක් කරන්න. නිදහස් අධ්‍යාපනය රකිනවා කියන කතා ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අධ්‍යාපනයට 6%ක් දෙනවා කියපු පොරොන්දුවලට මොකද වුණේ. දැන් වෙන් කරලා තියෙන්නෙ කීයද? ආණ්ඩුව කිව්වා මෙවර අයවැයෙන් රු. බිලියන 185 ක් අධ්‍යාපනයට වෙන්කරා කියලා, මේක ප‍්‍රතිශතයක් විදිහට හදල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් විදිහට 5.41%ක් වෙන්කරා 6%ට තව පොඩි ප‍්‍රමාණයයි මදි කියලා කිව්වා. බැලූ බැල්මට මුදල් වැඩි කරලා කියල පේනවා මේ සංඛ්‍යා ලේඛන දැක්කම. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ඇස් බැන්දුමක් විතරයි. 185 කියලා කියන්නේ ආණ්ඩුව මේපාර අයවැයෙන් වෙන්කරපු මුදල නෙවෙයි. මෙතන බිලියන 121 ක්ම තියෙන්නේ දැනට අධ්‍යාපන ආයතන සතු දේපලවල අදට තක්සේරු වටිනාකම්. ඒ කියන්නේ ඒ ගොඩනැගිලි බද්දට ගත්තනම් ඒකට කීයක් යනවද කියලා හදල, ඒ ගාණත් එකතු කරලා. මේ බිලියන 121 ක පාසල්වලට ලැබෙන එකක් නෙවෙයි. දැන් ඔබේ හෝ ඔබේ දරුවගෙ පාසලේ ගොඩනැගිලි තියෙනවා, විද්‍යාගාර තියෙනවා. ඒවට කිසිම ගෙවීමක් පාසලෙන් කළ යුතු නෑ. නමුත් මේ දේපල පාසලට නෑ කියලා හිතල, ඒවා වෙන ආයතනයකින් කුලියට ගත්තනම් කීයක් ගෙවන්න වෙයි ද කියලා තක්සේරු කරලා බලල, ඒ මුදලත් අධ්‍යාපන වියදමට එකතු කරලා.
මේක ජනතාව මුලා කිරීමක්. ඇත්තටම වෙන් කරලා තියෙන ගාන බිලියන 64 යි. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2015 ට වෙන් කරලා තිබුණේ බිලියන 62යි. ඒකට අනුව බිලියන 2 ක් වැඩි. හැබැයි ඒ බිලියන දෙක වැඩි කරලා තියෙන්නේ මෙතෙක් කල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොතිබුණු කලින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ජාතික කලා මණ්ඩලය, ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය වගේ දෙපාර්තමේන්තු සහ ආයතන දහයක් ඇතුලත් කරලා.
මේවට වියදම් ගියාම හරි පැහැදිලියි මේපාර අයවැයෙන් ගිය පාර වෙන් කරපු බිලියන 62 වත් වෙන් කරලා නෑ. 2015 අවුරුද්දෙ මහින්දගෙ ආණ්ඩුව 1.9% ක් අධ්‍යාපනයට වෙන් කරා. මේ ආණ්ඩුව සංඛ්‍යා විජ්ජා දාලා 5.41% ක් වෙන්කරා කිව්වට මොකද සැබෑ ප‍්‍රතිශතය 1.9% ක්වත් වෙන් කරල නෑ. අනික දැන් පාසල්වල මොකද වෙන්නේ කියලා අපි හොඳටම දන්නවා. පාසල්වලින් මුදල් අයකරන එක වැරදියි කියලා බලයට ආපු ආණ්ඩුව කරේ මුදල් අයකරන එක නීතිගත කරන්න චක‍්‍රලේඛගහපු එක විතරයි. ඒවා වෙනස් වෙලා
නෑ. අද පාසල් නඩත්තුව මුළුමනින්ම දෙමාපියන් මත පටවලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනය විකුණන්න ඉඩ දුන්නොත් එතනදි නිදහස් අධ්‍යාපනය කියලා ඉතිරි වෙලා තියෙන ටිකත් ඉවරයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>