පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 02

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න දුප්පත් අයට බැරිවෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් සල්ලි තියෙන කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තම තියෙන ප‍්‍රශ්නය මොකද්ද? ඒකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වන බලපෑමක් නෑනෙ..
පෞද්ගලික විශ්වවිද්‍යාලවට අපි විරුද්ධ වෙන්නෙ අපි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට විරුද්ධ නිසා කියල කවුරුහරි හිතනව නම් ඒක වැරදියි. මොකද අධ්‍යාපනය සම්බන්ධ අපේ ස්ථාවරය තමයි, දුප්පත් පෝසත්, ජාති, ආගම්, කුල, ස්ත‍්‍රී පුරුෂ මේ කිසිඳු භේදයක් නොසලකා කාටත් අධ්‍යාපනය ලැබීමට සමාන අයිතියක් තිබිය යුතුයි කියන එක. ඒ නිසා මුදල් තියෙන අය ඉගෙනගන්නවට අපි තුළ කිසිම විරෝධයක් නෑ. නමුත් මුදල් ගෙවිය හැකි අතලොස්සකගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්කරන ක‍්‍රමයකට අපිට එකඟවෙන්න බෑ. ඒ නිසා තමයි අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ. මෙතනදි වෙන්නෙ අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කිරීම. ඒ කියන්නේ අධ්‍යාපනය මුදල මත තීරණය කිරීම. ඒකට ඉඩදෙන්න බෑ. 
අධ්‍යාපනය කියන්නෙ සමාජ අයිතියක් මිසක වරප‍්‍රසාදයක් නෙවෙයි. අයිතියක් සහ වරප‍්‍රසාදයක් අතර තියෙන වෙනස තමයි, අයිතිය කාටත් පොදුයි. සමාජ අයිතියක් නම් ඒකෙදි ජාතිය, කුලය, ස්ත‍්‍රී/පුරුෂභාවය, ආගම, සමාජ පංතිය (දුප්පත්කම හෝ පොහොසත්කම* මේවා අදාළ වෙන්න බෑ. හැබැයි වරප‍්‍රසාදයකදි එහෙම නෙවෙයි. වරප‍්‍රසාද හිමි වෙන්නේ සමාජයේ ඉතා අතලොස්සකට විතරයි. අනෙක් අයට නැති, කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් තියෙන නිසා තමයි ඒක වරප‍්‍රසාදයක් වෙන්නේ. අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි, මුදල් ගෙවන්න හැකියාව තියෙන සීමිත පිරිසකගේ වරප‍්‍රසාදයක් වෙන එක. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. අධ්‍යාපනය ලැබීමේදී වෙනස්කම් කිරීම නොකළ යුතුයි කියන එක, අපි නෙවෙයි එක්සත් ජාතීන්ගේ සංගමය පවා පිළිගත්ත සම්මුතියක්. ගැටලූව තමයි ඒවා පිළිගත්තට මොකද යථාර්ථයේදී ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. 

උදාහරණයක් විදිහට පාසල්වලට සිසුන් බඳවාගැනීමේදී වාර්ගිකත්වය මත විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඔබ ඒක පිළිගන්නවද? ඒ කියන්නේ එක ජාතියකට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඒක අනුමත කරනව ද? විශ්වවිද්‍යාලවලට බඳවාගනිද්දි සිංහල ශිෂ්‍යයෝ 50%යි,දෙමළ ශිෂ්‍යයෝ 30%යි, මුස්ලිම් ශිෂ්‍යයෝ 20%යි මේ විදිහට බඳවාගැනීම් කරනවා කියල අපි හිතුවොත් ඔබ ඒක අනුමත කරනව ද? මේක 1971 දී ප‍්‍රමිතිකරණය නමින් සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ කරන්න හැදුවා. අපි හිතනවා උග‍්‍ර ජාතිවාදියෝ ඇරෙන්න, ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිවෙක් මෙහෙම ක‍්‍රමයක් අනුමත කරන්නෙ නෑ. දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී ඉන්න, ලිබරල් යැයි කියාගන්නා මහත්තුරුන්ගෙන් මෙහෙම ක‍්‍රමයකට කැමති ද කියල අපි ඇහුවොත් දෙන පිළිතුර මොකක් වෙයි ද? අනිවාර්යෙන්ම විරුද්ධ වෙයි. මොකද මෙතනදි ඇතැම් වාර්ගික ජන කණ්ඩායම්වලට වරප‍්‍රසාද දීමක් සහ ඇතැම් කණ්ඩායම් නොසලකා හැරීමක් වෙනවා. ඒක අසාධාරණයි. 
ඒවගේම තව උදාහරණයක් විදිහට කවුරුහරි කිව්වොත් කාන්තාවො ඉගෙන ගන්න  ඕනෙ නෑ. ඔවුන්ට ගෙදර දොරේ වැඩපල ටික කරගෙන, දරුවෝ රැුකබලාගෙන හිටියම ඇති, ඒ නිසා පිරිමින් විතරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවම ඇති කියලා. ඔබ එහෙම ක‍්‍රමයකට කැමති ද? විශේෂයෙන් අපි කාන්තාවන්ගෙන් අහනවා, ඔබේ අදහස මොකද්ද? අපි හිතනවා කාන්තාවෝ විතරක් නෙවෙයි කිසි කෙනෙක් මෙවැනි ක‍්‍රමවේදයක් අනුමත කරන්නෙ නෑ. ආගමික හෝ කුල පදනමින් වෙනස්කම් කිරීම වුණත් මෙහෙම තමයි. අපි කවුරුත් එවැනි ක‍්‍රමයක් සම`ග එක`ග වෙන්නේ නෑ. 
හැබැයි මෙවැනි පදනමකින් අධ්‍යාපනය සීමා කරනවට, විරුද්ධ බොහෝ අය මුදල් කියන සාධකය මත අධ්‍යාපනය සීමා කරනවට විරුද්ධ නෑ. වර්තමානයේ බොහෝ විට ලිබරල්වාදීන් කියන අය තමයි මෙතනදි ඉදිරියෙන්ම ඉන්නේ. හැබැයි ඔවුන් හැම තිස්සෙම කියන්න හදනවා, අපි බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිනිස්සු, නිදහසට, සමානාත්මතාවට ගරු කරන අය කියලා. හැම තිස්සෙම මොවුන් ඉදිරිගාමීයි, ප‍්‍රගතිශීලීයි කියලා පෙන්නන්න හදනවා. හැබැයි මොවුනුයි වැඩවසම් රදළයොයි අතර කිසිම වෙනසක් නෑ. එදා රදළයෝ එක්කෝ කුලය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුල වල අයට විතරයි ඉගෙනගන්න අවස්ථාව තිබුණේ. ශුද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුලවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුලවල වුණත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. එතකොට හරි පැහැදිලියි ඉතිහාසෙ හැමදාම අධ්‍යාපනය, සමාජයේ යම් වරප‍්‍රසාදිත කොටසක් විතරයි භුක්ති වින්දේ කියලා. හැබැයි ඒක මිනිස්සු සටන් වැදිලා, නිදහස් අධ්‍යාපනය දිනාගැනීමෙන් පස්සේ වෙනස් වුණා. ජාතියවත්, කුලයවත්, ආගමවත්, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ පංතියවත් නොසලකා හැමෝටම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මේ සූදානම පරණ වැඬේම ආයෙත් කරන්න. ඒ කියන්නේ ජාතිය, ආගම, කුලය, ලිංගිකත්වය වෙනුවට, මුදල් කියන සාධකය ගෙනල්ල ආයෙත් අධ්‍යාපනය සමාජේ කීපදෙනෙක්ගෙ වරප‍්‍රසාධයක් කරන්න. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. 
අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි මුදල් ගෙවීමේ හැකියාව මත අධ්‍යාපනය ලැබීම හෝ නොලැබීම තීරණය වෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට පෙර අපේ රටේ අධ්‍යාපනය ලැබීම රදලයන්ගේ වරප‍්‍රසාදයක් වුණා වගේ මිලියන ගණන් ගෙවන්න පුළුවන් පිරිසකගෙ වරප‍්‍රසාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය මුදල මත තීරණය වෙද්දී ගුණාත්මකව පිරිහෙන එකත් වළක්වන්න බෑ. අධ්‍යාපනය එහෙම විය යුතු නෑ. මොකද අධ්‍යාපනය කියන්නේ මිනිහෙක්ගෙ ජීවිතේ ඉතාමත් තීරණාත්මක කාරණයක්. අධ්‍යාපනයත් ප‍්‍රධානම කාරණයක් මිනිහෙක් කොයි වගේ කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙද්දි. 
අධ්‍යාපනය කියලා කියන්නේ දැනුමට සම්බන්ධ දෙයක්. මේ දැනුම කියල කියන්නේ මිනිස්සු ඉතිහාසයක් තිස්සේ තමන්ගේ ජීවන අත්දැකීම් තුළින් ජීවිතය ගැන, ලෝකය ගැන ලබාගෙන තියෙන අවබෝධය. ඒ විතරක් නෙවෙයි මේ අත්දැකීම් ඔස්සේ හිතල මතල, කල්පනා කරලා, සංවර්ධනය කරලා තියෙන දේවල් වලට. 
නිදසුනක් විදිහට භාෂාව කියන්නේ දැනුමක්, මේ භාෂාව මිනිසුන්ට අවශ්‍යයි. මොකද භාෂාවක් නැතුව ඔබට සමාජයත් එක්ක ගණුදෙනු කරන්න බෑ. ඔබට ඔබේ හැඟීම් අනෙකා සමඟ බෙදාහදාගන්න, අපි ජීවත්වන සමාජය, ලෝකය පිළිබඳ දේවල් දැන කියා ගන්න භාෂාව අවශ්‍යයි. එක භාෂාවක් නෙවෙයි භාෂා කිහිපයක් දැනගෙන සිටීම තුළ මිනිහෙක්ගෙ දැක්ම, පුළුල්කම වැඩියි. මොකද ඔහුට විවිධ භාෂාවන් කතා කරන මිනිසුන් සමඟ, විවිධ සංස්කෘතීන් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා භාෂාව නැමති දැනුම කොයිතරම් වැදගත් ද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. වෛද්‍ය විද්‍යාව කියන්නේ දැනුමක්. අපි විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවෙලා මැරෙන එක වළක්වගන්න නම් වෛද්‍ය විද්‍යාත්මක දැනුම අවශ්‍යයි. ඒක වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි අපි කාටත් වැදගත්. මොකද නිරෝගී සමාජයක් වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නැතුව බෑ. 
වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි සියලූම විද්‍යාවන් සම්බන්ධ දැනුම හැම මිනිහෙක්ටම අවශ්‍යයි. ඒ දැනුම විසින් ජීවිතයට ලොකු ආලෝකයක් ගේනවා. නිදසුනක් විදිහට අපි හිතමු ඔබට කිසියම් ලෙඩක් හැදුනා කියලා. එතකොට ඔබ විද්‍යාව දන්න කෙනෙක් නම් ඔබ කරන්නෙ වෛද්‍යවරයෙක් හමුවෙලා ලෙඬේට ප‍්‍රතිකාර ගන්න එක. එහෙම නැත්නම් ඔබ අවිද්‍යාව නම් විශ්වාස කරන්නේ මොකද්ද වෙන්නේ. කට්ටඩියෝ පස්සේ යයි, දෙහි කපයි, තොයිල් නටයි, අන්තිමේ අතේ තියෙන මුදලත් නැතිකරගෙන අසනීපයත් වැඩිවෙලා මැරිල යයි. ඉතිහාසෙ අපි හිතාගෙන හිටියා මිනිහෙක්ගෙ ජීවිතේ තීරණය වෙන්නේ ග‍්‍රහ තාරකාවලට අනුව, එහෙම නැත්නම් මොකක් හරි අදුෂ්‍යමාන බලයකට අනුව කියලා. හැබැයි විද්‍යාව විසින් ඔප්පු කරල තියෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. ජීවිතේ කොන්දේසි පාලනය කළ හැකියි කියලා. මිනිහෙක්ට තමන්ගේ ජීවිතය හොඳ අන්තයකට රැුගෙන යන්න ඒ දැනුම අවශ්‍යයි. ගණිතය කියන දැනුම අපට අවශ්‍ය නැද්ද? අපි කවුරුත් ගණිතය දන්නේ නැත්නම් මොකක් වෙයිද? ගණිතය ගැන ඉතාමත් සරල දැනුම එකතු කිරීම්, අඩුකිරීම් නැති වුණොත් කඬේකට ගිහින් බඩුවක් මිලදී ගන්නවත් අද බෑ. දැන් මේ විදිහට හැම විෂයක්ම සම්බන්ධ දැනුම අපේ ජීවිතවලට  ඕනි. අපි හිතමු කලාව අපට  ඕනි නැද්ද? කලාව රසවිඳීම තුළින් මිනිහෙක්ගෙ ජීවිතේට ලැබෙන ආලෝකය වෙන දේකින් ගන්න බෑ. ඒ නිසා කලා කෘතියක් රස විඳින්න පුළුවන් දැනුමක් හැම කෙනාටම අවශ්‍යයි. ක‍්‍රීඩාව ගත්තත් එහෙමයි. දේශපාලනය විසින් අද ජීවිතේ සියල්ල තීරණය කරනවා. ඒ නිසා දේශපාලනය පිළිබඳ දැනුම නැතිව ජීවිතය සම්බන්ධ කාලකණ්ණි අත්දැකීම් වෙනස් කරන්න බෑ. ආර්ථික විද්‍යාව දැනගෙන සිටීම වැදගත්. නැත්නම් බොරු සංඛ්‍යා විජ්ජා දාලා ජනතා අයිතීන් කොල්ලකන්න, අපිව සූරාකෑමට ලක්කරන්න පාලකයන්ට ලේසියි. අපි ආර්ථික විද්‍යාව නොදන්න නිසා තමයි, අපි කර්මාන්ත ශාලාවල දිනපතා දාස් ගණන් උපයද්දි ඉතාමත් සොච්චම් වැටුපක් දීල අපෙන් වැඩගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි ඉගෙනගන්න හැම විෂයක්ම කියන්නේ ජීවිතයට අවශ්‍ය දේවල්. මේ විෂයන් සම්බන්ධ දැනුම ගලාගෙන නොගියොත් සමාජය ඉදිරියට යන්නෙ නෑ. 
දියුණු රස වින්දනයක් සහිත, පුළුල් සංස්කෘතික දැක්මක් තියෙන, ඒ වගේම මානව දයාවෙන් පිරිච්ච මිනිස්සු නිර්මාණය වෙන්න අධ්‍යාපනය අවශ්‍යයි. අපි දන්නවා පුද්ගලයා තුළ උසස් කලා රස වින්දනයක් වර්ධනය කරන්න නම් අධ්‍යාපනයක් අවශ්‍යයි. විද්‍යාවේ, කලාවේ, දර්ශනයේ, දේශපාලනයේ, ආර්ථිකයේ දියුණුව සංවර්ධනය නිකන් වෙන්නේ නෑ. අපි හිතනවා ඒ සඳහා ඒ විෂයන් පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තිබිය යුතුයි. අපි දන්නවා අපරාධවලට පෙළඹීම වුණත් වැඩි ප‍්‍රවනතාවයක් තියෙන්නේ නූගත් ජන කොටස් අතර කියලා. ඒ නිසා තමයි එක පාසලක් වහද්දි හිරගෙවල් 10 ක් ඇරෙනවා කියලා කියන්නේ. 
දැන් අපි මේවා කියද්දි කෙනෙක් අපෙන් අහන්න බැරි නෑ අද අධ්‍යාපනය ඔය අරමුණින් ද ක‍්‍රියාත්මක වෙන්නෙ කියලා. අධ්‍යාපනය කියන්නේ රාජ්‍යයේ දෘෂ්ඨිමය මෙවලක් මිසක් ඔය කියන සමාජ අරමුණු වෙනුවෙන් භාවිතා වෙන එකක් නෙවෙයි නේද කියලා කෙනෙක් අහන්න බැරි නෑ. ඔව් අද පවත්නා අධ්‍යාපනය එහෙම තමයි. ඒක තුළ අධ්‍යාපනයක් තුළින් අපේක්ෂා කළ යුතු පුද්ගල හෝ සමාජීය අරමුණු ඉටුවෙන්නෙ නෑ. හොඳ අධ්‍යාපනයක් කියන්නේ විචාරයට නිර්මාණශීලීත්වයට ඉඩ දුන් එකක් විය යුතුයි. එහෙම අධ්‍යාපනයක් දරුවන්ගෙ ඔළුවලට පැරණි විෂය කරුණු අවිචාරයෙන් පුරවන එකක් නෙවෙයි. ඒ වෙනුවට සියලූම විෂයන් දිහා විචාරයෙන් යුතුව බලල හරිදේ රැුගෙන යන්නත් වැරදි දේ බැහැර කරන්නත් පුහුණු කළ යුතුයි. එවැනි අධ්‍යාපනයක් කියන්නේ ගුරුවරයා සර්ව සම්පූර්ණයි කියල හිතල, ශිෂ්‍යයින් ප‍්‍රශ්න කිරීමකින් තොරව ගුරුවරු කියන දේ පිළිගන්න බලකරන එකක් නෙවෙයි. ඒ වෙනුවට ප‍්‍රශ්න කරන, වාද විවාද කරන, කටපාඩම් කිරීම වෙනුවට හැදෑරීමට අධ්‍යයනට බර තබපු එකක් තමයි හොඳ අධ්‍යාපනයක් කියන්නේ. හැබැයි එවැනි අධ්‍යාපනයක් පවත්නා සමාජයට ගැලපෙන්නේ නෑ. ඒ කියන්නේ ධනවාදයට අවශ්‍ය ප‍්‍රශ්න කරන මිනිස්සු නෙවෙයි. සියල්ල කරබාගෙන බාරගන්න අය විතරයි. පාසල්වල විතරක් නෙවෙයි අද විශ්වවිද්‍යාලවල පවා තියෙන්නේ මේ තත්ත්වය තමයි. ගුරුවරයා සහ ශිෂ්‍යා අතර තියෙන්නෙ වහල් සම්බන්ධයක්. 80% දේශන අනිවාර්ය කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ තියෙන්නෙත් මෙන්න මේ සම්බන්ධය පවත්වාගෙන යාමේ වුවමනාව ප‍්‍රකාශවීමක්. ඒ ගැන අපි පුදුම වෙන්නේ නෑ. මොකද ධනවාදී සමාජයක් තුළ අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණක් වන වහල් ශ‍්‍රමිකයන් නිර්මාණය කරගන්න නම් එවැනි ක‍්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම තමයි සියලූ සමාජ අසාධාරණකම් විඳ දරාගන්න නම් කිසිවක් ප‍්‍රශ්න නොකරන, හැමදේම බාරගන්න විදිහේ පෞරුෂයන් හැදිය යුතුයි. 
පවත්නා අධ්‍යාපන ක‍්‍රමය තුළ පවතින මෙවැනි පංති අරමුණු අපි බැහැර කරන්නේ නෑ. නමුත් මේ සියල්ල තිබියදී පවා මේ විෂයන් තුළ පවතින වටිනාකම් අගයන් අපි වටහා ගත යුතුයි. අපේ අරගලය විය යුත්තේ මෙවැනි අධ්‍යාපනයක් වෙනුවෙන් නෙවෙයි. ඒ ගැන අපිට විවාදයක් නෑ. හැබැයි එහෙම කියලා දැන් මේ පවතින ටිකත් විකුණන්න ඉඩ දුන්නොත් අපිට වඩා හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් අරගල කරන්නවත් කිසිවක් ඉතිරිවෙන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය, එතැනින් අවසන් නොකර ප‍්‍රශස්ත අධ්‍යාපනයක් දිනාගැනීම දක්වාම රැුගෙන යා යුතුයි. 
අධ්‍යාපනය තුළින් විය යුත්තේ ජීවත්වෙන්න අවශ්‍ය මේ දැනුම ලබාදෙන එක. මේ දැනුම කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි හැමෝටම අවශ්‍යයි. හැබැයි ඒ දැනුම ලබාගැනීම මුදල මත නම් තීරණය වෙන්නේ, එතකොට ඒ අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවිය හැකි අතලොස්සකට විතරයි. අපි එයට ඉඩ නොදිය යුතු අතර අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් සටන් වැදිය යුතුයි.
අනිත් වැදගත්ම කාරණය තමයි, අපි ඉපදුනේ කොහේද, කොහොමද, කොයිවිදිහට ද, කියන කාරණා අදාළ කරගන්නේ නැතිව මේ මහපොළවෙ ඉපදෙන කාටත් තමන්ගේ අනාගතය කොයි වගේ විය යුතු ද කියන එක තීරණය කරන්න අයිතියක් තිබිය යුතුයි. ඔබ අනාගතයේ මොන ක්‍ෂේත‍්‍රය තුළ ද ඉස්සරහට යන්නේ, මොකද්ද කරන රැුකියාව මේවා තීරණය කරන්න අයිතියක් අපට තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ අයිතිය තීරණය වෙද්දී අධ්‍යාපනය ඉතාමත් තීරණාත්මකයි. අධ්‍යාපනය මුදලට නම් තීරණය වෙන්නේ, ඇතැම් විෂයන් ඒ කියන්නේ අධික මිල ගණන් යටතේ විකිණෙන විෂයන් ඉගෙනගන්න හම්බවෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, මේ වගේ ඉහළ වැටුප් සහිත වෘත්තීන් සහිත අධ්‍යාපනය මිල අධික වෙන එක වළක්වන්න බෑ. සාමාන්‍ය ජනතාවට කවදාවත් එවැනි විෂයන් ඉගෙනගන්න වෙන්නේ නෑ. එතකොට වෙන්නේ මොකද්ද පැරණි රදල ක‍්‍රමය වගේ එකක් ආයෙත් ස්ථාපිත වෙනවා. ගොවියගෙ දරුවා ගොවියා, ධීවරයගෙ දරුවා ධීවරයා මේ විදිහට තමයි සමාජයේ වෘත්තීන් බෙදී යාම සිද්ධ වෙන්නේ. නිදහස් අධ්‍යාපනය හරහා මේ ක‍්‍රමය යම් පමණකට වෙනස් වුණා. ගොවියගෙ දරුවටත්, වතු කම්කරුවගෙ දරුවටත් වෙනස්කමකින් තොරව තමන් කැමති විෂයක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. මේ නිසා තමයි නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණාට පස්සේ මාටින් වික‍්‍රමසිංහ මහතා කිව්වේ බමුණු කුලය බිඳවැටුණා කියලා. දැන් මේ හදන්නේ මොකද්ද? නැවතත් එවැනි තත්ත්වයක් ස්ථාපිත කරන්න. ඒ නිසයි අපි මේවට විරුද්ධ. අපි අහනවා ඔබ කැමතිද එහෙම තත්ත්වයක් ඇති වෙනවට. අකමැති නම් අධ්‍යාපනය විකුණනවට විරුද්ධ විය යුතුයි. 

එදා රදළයෝ එක්කෝ කුළය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුළ වල අයට විතරයි ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ. ක්ෂද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුළවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුළවල වුනත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. 





අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>