මාතලන්, එයාල නඩරාසව මරලා

මාතලන්, එයාල නඩරාසව මරලා

එය මුළින්ම මාධ්‍ය හමුවේ දිග හැරුණේ රිය අනතුරක් ලෙසය. නමුත් එම ස්ථානයේ තිබූ වෙඩි උණ්ඩත් සමග සැගවිය නොහැකි ලෙස එය ඝාතනයක් බව පැහැදිලි විය. මෝටර් බයිසිකල් අනතුරක් පිළිබද ප‍්‍රචාරය, ඝාතනය, සරසවි සිසුන් දෙදෙනෙක් මේ වදන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ හදවත් මොහොතකට සසළ කරවන ආදරණීය සටන් සගයන් දෙදෙනෙකුගේ වෙන්වීම සිහිකරයි. ඒ ජනක සිසිත ඝාතනයයි. මිලියන විස්සක් සිටින රටක මිනිසුන් දෙදෙනෙක් මියගිහින් ලෙස අපට මේ මරණයන් කාලයේ අවකාශයේ දියව යන්නට දිය හැක. නමුත් ඉතිහාසය තුළ අපිට ඒ පිළිබදව අත්දැකීම් ඇත. රට පුරාවූ අතුරුදහන්වීම් ඝාතන හමුවේ අපිද මුනිවත රැුක්කෙමු. තම ක‍්‍රමයට අභියෝග කරන්නන්ට ධනපති මර්දන යාන්ත‍්‍රණයන් භේද නොමැතිව තම බයිනෙත්තු කට හරවන බව අපට මග ඇරුණි. අවසන ඒ මර්දනයේ හස්තයන් අප පසුපස ලූහුබදින්නට විය. මාතලන්ලා ටොක්කලා ඒ මර්දනයේ අදුරු සෙවණැලි අතර සගවා ගන්නා ලදී. අද යාපනයෙන් එම ඝාතන සංස්කෘතිය බෞතීස්ම ලැබුවහොත් හෙට අපේ දොරටද එය තට්ටු කරණු ඇත. එබැවින් බසයකට බලූ පැටියෙක් යටවී මිය ගියා සේ අනේ අපොයි කියා මනුෂ්‍ය ඝාතනයකට සැහැල්ලූ වන්නට ඉඩදිය නොහැක. ඒ මනුෂ්‍ය ජීවිත වලට හිමි වටිනාකම හිමිකර දිය යුතුව ඇත.
අනෙක් අතින් මේ ඝාතනය සිදුවන්නේ යාපනයේදීය, එසේම ඒ තමිල් සහෝදරයන් දෙදෙනෙක්ය. කෙනෙකුට අසන්නට පුලූවන් දෙමළ මිනිස්සු මැරුණම විතරද දැන් ප‍්‍රශ්නෙ? එයාල විශේෂද වගේ දෙයක්. ඇත්තටම ඔවුන්ට අපට වඩා සුවිශේෂී තත්වයන් ඇත. දශක ගණනාවක් යුද්ධයෙන් පීඩාවට පත් සමාජයක ඔවුන් යුද්ධයෙන් පසුව පරාජිත හැගීමකින් පසුවෙයි. යුද්ධය දකුණේ ජයග‍්‍රහණයක් නොවේ අපි හැමෝගෙම ජයග‍්‍රහණයක් වැනි දේවල් කියමින් අප මොනතරම් හයියෙන් බෙරිහන් දුන්නද ඵලක් නැත. එය ඔවුන්ට පරාජයක් ලෙස දැනෙයිනම්. ජාතිවාදී බෙදුම් ඉරි මත යැපෙන ධනේෂ්වර දේශපාලන න්‍යාය පත‍්‍රයගෙන් ඔබ්බට ගොස් උතුරේත් දකුණේත් පීඩිතයින් එකට එක්ව මෙතෙක් කල් වැරදි දෙසට යොමුවූ සටන තම නිවැරදි සතුරා දෙසට දිශාගත කරන්නට කාලය පැමිණ ඇත. වෙනත් තරුණියක සමග පෙම්කරමින් සිට හසුවී වේදනාවෙන් හඩන තම පෙම්වතියට තමන් ඇයට අවංකව ආදරය කරණ බවට පෙම්වතා කට වචනයෙන් කියූ පමණින් ඇගේ වේදනාව නැතිවී යන්නේවත් ඇයගේ සිතෙහි ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේවත් නැත. එලෙසට අපිද යාපනයේ තමිල් සහෝදර සහෝදරියන්ට එන්න අපි එකතුවෙලා සටන් කරමු කියූ පමණින් ඔවුන්ට තකහනියේ අප වෙත දිව එන්නට තරම් පිරිසිදු අතීතයක් අපට නැත. එබැවින් ඒ අහිමි කරගත් විශ්වාසය දකුණ දිනාගත යුතුව ඇත. එසේ නොමැතිව යාපනයට යන පාර කාපට් කර අයිස් කීී‍්‍රම් කඩ දැම්මාට ප‍්‍රශ්න විසදෙන්නේ නැත.
එවන් කාල සමයක මෙවැන් ඝාතනයන් තවත් එක් මරණයකට වඩා වැඩි දෙයකි. ඒ මරණයන් මත ජාතිවාදී දේශපාන පිසාචයින් නැගී නොසිටින්නට අප එම අවකාශයන් වෙත නිවැරදිව ප‍්‍රවේශ විය යුතුව ඇත. විශේෂයෙන් ලාංකීය ශිෂය ව්‍යාපාරය ලෙස අපටද එම වගකීම ඇත. ශිෂ්‍ය ව්‍යාපාරයට අදාලව යාපනය තමිල් ජනයාගේ එක්තරා සළකුණකි. යම් යම් සබදකම් පැවතියද, යම් යම් සාමූහික කි‍්‍රයාමාර්ග ගත්තද තාම කැළණියට ජපුරට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට යාපනය භෞතිකව ඇති කිලෝමීටර් දෙතුන්සීයකට වඩා බොහෝ දුරය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපට ඔවුන්ද අපේ කරගත යුතුව ඇත. එයට අපිට කොළඹට වී උතුරට අත වනනවාට වඩා දෙයක් කරන්නට වනු ඇත. සරළව ඔවුන් වෙනස් වන්නටනම් අපද වෙනස් විය යුතුය. යාපනයෙන් කොළඹට නොව කොළඹින් යාපනයට පළමු පියවර එසවිය යුතුව ඇත. ඉතිං අප යාපනය සරසවියේ  සහෝදරයින් දෙදෙනාගේ ඝාතනය හෙළා දකින්නෙමු. ඔවුන්ට යුක්තිය ඉටුවීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු. හුදු උපයෝගීතා අර්ථයේ කණගාටුවකින් විරෝධයකින් ඔබ්බට ගොස් ජනක සිසිත මෙන්ම නඩරාසා හා පුවන්රාජා වෙනුවෙන්ද අපි සසළ වන්නෙමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>