යහපාලනය සිසු දඩයම අරඹයි


අධ්‍යන හා සුබසාධන ගැටලු , අධ්‍යාපනයට ඇති අයිතිය අහිමිවීම සම්බන්ද ගැටළු මුල්කරගනිමින් සටන්කල සිසුන්ගේ අරගල වලට පසුගිය සමයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල කල මර්දනය හුවා දක්වමින් රාජපක්ෂ ආණ්ඩුව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර ඇති බවත් එය නැවත ඇතිකළ හැක්කේ රාජපක්ෂ එලවීමෙන් පමණක් බව පවසමින් මෛත්‍රි රනිල් ප්‍රමුඛ  හවුල ජනවරම පැතීය.රාජපක්ෂ එලවූ පමණින් රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම  හෝ අයිතින් දිනාගැනීම උදෙසා කෙරෙන අරගල වලට එල්ල වන මර්දනය නොනවතින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ මතය වුවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලු බහුතරයක් ජනයා මෛත්‍රි රනිල් ප්‍රමුඛ හවුලට ජනවරමක් ලබාදුනි.
නමුත් බලයට පත්ව වැඩි කාලයක් යන්නට මත්තෙන් වත්මන් හවුල් ආණ්ඩුවද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ක්‍රියාත්මක කරනුයේ ධනපති පංතියේ ලාභ වුවමනාව වෙනුවෙන් නව ලිබරල් ප්‍රතිසංස්කරනම බවත් ඊට එරෙහිව අයිතින් ඉල්ලා පාරට බහින ජනතාවට අත්වන්නේද මර්දනයම බවත් පසුගිය දිනවල කුණුත් සමග ජිවත් වන්නට බෑ කියූ මීතොටමුල්ලේ ජනතාවට , පිරිසිදු ජලය ඉල්ලූ බදගිරියේ ජනතාවට , තම ඩිප්ලෝමා පාඨමාලාවට හිමිව තිබු උපාධි සමානතාව ඉල්ලු HNDA සිසුන්ට එල්ල කල ප්‍රහාර හමුවේ ලාංකීය මහා ජනතාවට ඔප්පු විය.
දැවැන්ත මර්දනය හමුවේ වුවද රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත හෙලිකල ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය මෛත්‍රි රනිල් ප්‍රමුඛ  හවුල් ආණ්ඩුවේද අධ්‍යාපන පෞද්ගලීකරන ප්‍රතිපත්ති වලට එරෙහිව මේ මොහොතේද අඛණ්ඩ අරගලයක නිරත වෙමින් සිටී.
සියලුම විශ්වවිද්‍යාලවල මේවන විට අධ්‍යන හා  සුබසාධන ගැටළු වෙනුවෙන් සිසුන් අරගල කරමින් සිටී.නමුත් සිසු ගැටළු වලට විසදුම් ලබාදී සිසු අයිතීන්  තහවුරු කරනු වෙනුවට වත්මන හවුල් ආණ්ඩුවේද ප්‍රතිපත්තිය වනුයේ සිසුන් මර්දනය කිරීම තුලින් සිසු අරගල නිහඩ කරවීමයි.මිට ආසන්නතම සිදුවීම වනුයේ 2015-11-10 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විදයා පීට ශිෂ්‍ය සංගමයේ සහෝදරයෙකු වන සමීර චතුරංග සහෝදරයාගේ නිවසට බුද්ධි අංශ නිලධාරියෙකු පැමිණ විශ්ව විද්‍යාලයේ ඇති ගැටළු පිලිබද විමසිමක් සිදුකර අවසානයේ සම සෞඛ්‍ය පීටයේ ලේකම් සහෝදරයාට පංති  තහනමක් ලැබීමට  නියමිත බව පවසා සිටිමයි.සැලකිය යුතු කරුණ වනුයේ බුද්ධි අංශ නිලධාරියා එසේ පවසා 2015-11-11 දිනම 2015-10-20 දින සම සෞඛ්‍ය පීටයේ  ජෙයෂ්ට භාණ්ඩාගාරිකවරයා සහ ලේකම්  සහෝදරයා අතර ඇතිවූ සිදුවිමක් මුල්කරගනිමින් සම සෞඛ්‍ය පීටයේ ලේකම් සහෝදරයාට පංති  තහනමක් ලැබීමයි.බුද්ධි අංශ නිලධාරියාගේ නම සහ දුරකථන අංකය සොයගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උපකුලපති සමග සිදුකල සාකච්චාවකදී මේ පිළිබද පරිපාලනයට චෝදනා කර එහිදී ප්‍රධාන විනය පරීක්ෂකවරයාගේ දුරකතනයෙන් බුද්ධි අංශ නිලධාරියාගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්විට එම අංකය එහි save කර ඇති බව දක්නට ලැබිණි.පසුව මහා ශිෂ්‍ය සංගමයේ චෝදනා කිරීම් මත ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරියාට බුද්ධි අංශ මැදිහත්වීම් පිලිබදව හෙළිදරවු කිරීමට සිදුවිය.ඔහුට අනුව මේවනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවල,කම්කරු සේවයේ ශ්‍රමිකයින් ලෙස,ආචාර්යවරුන් ලෙස,පරිපාලන නිලධාරින් ලෙස සහ ශිෂ්‍යයින් ලෙස බුද්ධුඉ අංශයට තොරතුරු සපයන පිරිස් සිටින බව හෙළිවිය.
තවද පසුගිය දිනෙක ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීටයේ සභාපති සහෝදරයාගේ සහ එහි සාමාජික සහෝදරයෙකුගේ නිවෙස්වලට බුද්ධි අංශ නිලධාරීන් පැමිණ එම සිසුන් විශ්වවිද්‍යාලය තුල සිදුකරන ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කරන්නට පවසන්නට යයි ඔවුන්ගේ දෙමවුපියන්ට පවසා තිබේ.පසුගිය ආණ්ඩු සමයේද මෙලෙස ආරම්භ වූ ශිෂ්‍ය මර්දනය පසුව සිසුන් ඝාතනය දක්වා වර්ධනය කෙරිණි.මේ ආණ්ඩුවද ශිෂ්‍යයින් මර්දනය කිරීම ගැන අප පුදුමයට පත්වන්නේ නැත.මන්ද හුදෙක් ආණ්ඩු මාරු කිරීමෙන් අයිතීන් දිනාගත නොහැකි බවත් ශිෂ්‍යයින්ගේ මෙන්ම ගොවි,කම්කරු,ධීවර ඇතුළු සියලුම පීඩිත ජනකොටස් වල අයිතීන් දිනාගත හැක්කේ සංවිධානය වී තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමෙන් පමණක් බව ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසටය පුරාවටම අත්දැකීමෙන් දන්නා කරුණකි.එනිසා මර්දනය කිනම් ස්වරුපයකින් පැමිණියද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරීමට සුදානම් බව පාලකයින්ට මතක් කලයුතුය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>