අ.වි.භි.බ.ම. කැඳවුම්කරු ඇතුලූ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා සිවුදෙනෙක් හිරගත කිරීම හෙළාදකිමු !

ප්‍රවෘත්ති අධ්‍යක්ෂක/කර්තෘ
2015.5.25
මහත්මයාණෙනි/මහත්මියනි,

මාධ්‍ය නිවේදනය
අ.වි.භි.බ.ම. කැඳවුම්කරු ඇතුලූ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා සිවුදෙනෙක් හිරගත කිරීම හෙළාදකිමු !

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි, සූරියවැව සූසීල හිමි, මහගල්වැව රාහුල හිමි, මෝදරවානේ විපුලසිරි හිමි යන ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ජුනි මස 8 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇති අතර ඒ සඳහා හේතුවී ඇත්තේ පසුගිය 2015 අපේ‍්‍රල් 29 වන දින විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයයි. කළහකාරීලෙස හැසිරීම, පොදුදේපල හානි කිරීම හා පොලිස් නිළධාරියකුට පහර දීම ආදී  චෝදනා නොඑසේනම් මහා භයානක ගණයේ අපරාධකරුවන් වශයෙන් වන හංවඩුවක් ගසා හෝ  මෙම සිරගත කිරීම නෛතිකව සාධාරනීකරණය කළහැකි නමුත් මෙම සිදුවීම හරහාද පෙන්වන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන බවට පොරොන්දු දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවත මිස අන්යමක් නොවේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් මාස ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල වලට කරනු ලබන ශිෂ්‍ය භික්ෂු බඳවාගැනීම් කප්පාදුව නවතන ලෙසත්, මීට පෙර වර්ෂවලදී බඳවාගත් ප‍්‍රමාණයන්වත් අවමය මෙවරත් බඳවාගන්නා ලෙසත් සියලූම බලධාරීන්ගෙන් ලිඛිතවද වාචිකවද ඉල්ලා සිටින ලදී. නමුත් ඒ පිළිබඳව බලධාරීන් අනුගමනය කරන ලද නිහඩ ප‍්‍රතිපත්තිය ඉදිරියේ මෙම අරගලය නිර්මානය විය. උසස් පෙළ සමත් භික්ෂුන් වහන්සේලා ගණනාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය,  සරසවිවල ඉඩපහසුකම් තිබියදීත් අහිමිකරද්දී ඊට එරෙහිව සටන් වැදීම මිස අන් කළහැකියමක් වේද?  එදා ප‍්‍රතිපාදන කොමිසම දක්වා සාමකාමීව භික්ෂුන්වහන්සේලා පාගමනින් යනුයේද ප‍්‍රශ්නය කතාබස්කොට විසදාගැනීමටය. එහෙත් ප‍්‍රශ්නය විසදීම පැත්තක තබා කොමිසමේ ගේට්ටු ඉබියතුරු ලා පොලිස් ප‍්‍රහාරයක් සූදානම් කළේ හා සමකාමී උද්ඝෝෂණය ගැටුමක් දක්වා වර්ධනය කළේ බලධාරීන්ය. ඉන් අනතුරුව සිදුවු සිද්ධීන්හි වගකීම සිසුන් පිට පැටවීම සාධාරණ වන්නේ කෙසේද? එය භාරගත යුත්තේ බළධාරීන්ය. වෙනදා මෙන්ම මෙවරද සිසුන් බඳවාගැනීම් සිදුවූයේ නම් උද්ඝෝෂණ ඇති නොවේ. ඒ අනුව මෙම සිදුවීම්හි වගකීම සිසුන්මත පැටවීම සාධාරණ නොවන අතර එය නීතියේ අපක්ෂපාතීත්වය පිළිබඳ නිරුවත විදහාපාන්නකි. නීතිය අපට උද්ඝෝෂණ පැවැත්වීමේදී සමාකාමීව සිදු කළ යුතුයැයිද, සිසුන් මුරන්ඩු නොවිය යුතු යැයිද කියයි. උද්ඝෝෂණ ඇති වීමට ඉඩදී ප‍්‍රශ්න නොවිසදා සිටින, සාමකාමී උද්ඝෝෂණවලට පහරදෙන උද්ඝෝෂකයන්ගේ ඔලූපලන පොලිස් නිළධාරීන්ටද, ඔවුන්ට ඒ සඳහා නියෝගදෙන බලධාරීන්ටද කිසිවක් නොකියයි. එපමණක් නොව සිදුවීම් පෙළක එක් රූපරාමුවක් ගෙන සියල්ල පිළිබඳ අර්ථනිරූපන දෙයි. සිසුන් උද්ඝෝෂණ කළේ මන්දැයි යන්න හෝ ඒවා කොතරම් සාධාරණ වන්නේ දැයි යන්න පිළිබඳ කිසිවක් නොවිමසයි. උද්ඝෝෂණය කරනු ලබන පැයකදී සිදුවන මහජන පීඩාවක් ගැන කතාකරයි. නමුත් පාසල් වසාදැමීමෙන්, සරසවි බඳවාගැනීම් කප්පාදු කිරීමෙන් සිසුන් සියදහස් ගණනකගේම මුළුමහත් අනාගතයක් විනාශවීයාම නොදැක්කා සේ සිටියි. මේ අනුව පෙනී යන්නේ අප අපරාධකරුවන් කොට දඟගෙට යවනු ලබන නීතියේ රාජ්‍ය පක්ෂපාතීත්වය නොවන්නේද? ජනතාවට එරෙහිව එහි හැසිරීම නොවේද?
ඒ අනුව මෙම සිරගතකිරීම මෙන්ම පසුගිය කාලයක් පුරා යහපාලන කඩතුරාවට යටින් සිදුවූ සියලූම මරදනයන්ද පෙන්වා දෙන්නේ කුමන ආණ්ඩුවක් යටතේ වුවද, පොලිසි, හමුදා, අධිකරණ, පාර්ලිමේන්තු මේ ආදී කිසිවක් ජනතාව වෙනුවෙන් නොව ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන බවයි. එය මෙම අත්දැකීම හරහාද යළි යළිත් පසක් කොට ඇති අතර මෙම භික්ෂූන් වහන්සේලා හා සිසුන් හිරගත කර පෙන්වා දී ඇත්තේ වත්මන් හත්හවුල් ආණ්ඩුව මේ රටේ උසස් පෙළ සිසුන් සරසවි බඳවාගැනීමට සූදානම් නැති බව හා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමිකිරීම වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවයි.
අප රටක් සමාජයක් වශයෙන් මෙම හැසිරීම දැඩි පිළිකුලෙන් හෙළාදැකිය යුතු අතර, යහපාලනයේ කඩතුරාව යට සැඟව යළි යළිත් හිස ඔසවමින් තිබෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි රාජ්‍යයේ ත‍්‍රස්ත හැසිරීම් වහා පරාජය කිරීමට නැගී සිටිය යුතුය.
ස්තූතියි.
මීට 
කැදවුම්කරු

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>