අහෝ පීඩාව !

ලබා උපන් හැටි, දෛවය, සෙනසුරු අපලය, පින් නැති කම, කරුමය මෙකී නොකී හේතු කාරණා ගොඩකට අපි අපේ පීඩාව බාර දෙනවා. ඒ පීඩාව දුරුකර ගැනීමට බෝධි පූජා, යාඥාවේ සිට හදි හූනියම්, ගුරුකම් දක්වා ද එතැනින් එහාට ග‍්‍රහයන්ට අනුව මුදු මාල වැනි ආභරණ දමා ගැනීම දක්වා ද අපි පුරුදුවෙලා ඉන්නවා. මේ පීඩාව මේ තරම් සරල ද? අපිට හිතෙන්නේ මේ පීඩාව අපිට පේන්නැති කාට හරි බාරදෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියලයි. ඒකනෙ පීඩාව එන්න එන්නම අපි පන්සල්, පල්ලි, කෝවිල් ගානේ දුවන්නේ. එහේ විසඳුම් තියෙනවා කියල හිතාගෙන. ආගම් අදහන එක වැරදියි කියන එක නෙමෙයි මේ කියන්නේ.  ඕන කෙනෙක්ට  ඕන ආගමක් වැළඳගන්න, අදහන්න, වගේම අදහන්නැතිව ඉන්නත් නිදහස තියෙන්න  ඕන. ඒ ගැන අපේ විවාදයක් නෑ.
    හැබැයි අද අපේ පීඩාවේ හේතුව හොයල දෙන්න මේ කාටවත් බැරිවෙලා තියෙනවා. ඒ වෙනුවට පීඩාවට පත් වෙච්ච අපේ රීරි මාංශ උරාබොන්න නම් එක එක ගැලවුම්කාර විජ්ජා ගොඩක් ඇවිත් තියෙනවා. අපේ අය නම් වැල නොකැඞී ඒ වැලේ එල්ලෙනවා. හැබැයි ඉතින් ගැලවිල්ල කෙසේ වෙතත් එල්ලෙන්න නම් ඒව හොඳයි. මොකද මේ එකක්වත් පීඩාවට විසඳුම නොවන නිසයි.
    මොකද්ද මේ පීඩාවට හේතුව. ඒක ගොඩක් සරල නැහැ. විවෘත ආර්ථිකය අපේ රටට වද්දගන්න කලකට පෙර මිනිස්සුන්ගේ ජන ජීවිතය ඇතුළෙ මේ තරම් පීඩාවක් ගොඩ ගැහුනේ නෑ. ඒක දැනගන්න ඒ කාලේ ඉන්නම  ඕන නෑ. සැබෑ ඉතිහාසය කියව ගත්තම තේරුම් ගන්න පුළුවන්. මේ පීඩාව තනිකරම දේශපාලනික එකක්. එතකොට කියයි අපෝ දේශපාලනය නම් බෑ කියල. ඔය අපි කියන පාදඩ දේශපාලනය කියන අරුත නෙමෙයි සැබෑ දේශපාලනයේ තේරුම. ඒක පිවිතුරු අදහසක් තියෙන වචනයක්. අද පරුෂ වචනයක් බවට පත් කරලා.
    මෙහෙම කියන්නම්කෝ. පාලකයො ප‍්‍රතිපත්ති හදනවා, ඒවා දේශපාලනය නේ.  ඒ ප‍්‍රතිපත්ති නිසා මහජනයා අතර පීඩාවක් නිර්මාණය වෙනවා. ඒකත් දේශපාලනිකයි. ඒකට විරුද්ධ වෙන  ඕන තැනක කරන්නේ දේශපාලනයක් තමයි. බලය ගන්න එක, පවත්වාගෙන යන්න කරන දේ විතරක්ම නෙවෙයි දේශපාලනය කියන්නේ. අපි තනිකරම දේශපාලනික සත්වයෝ ඒක තමයි ඇත්ත. එහෙම දේශපාලනයෙන් තොර වෙලා පිස්සෙකුටවත් ඉන්න බෑ. හැබැයි දේශපාලනය කරන අරමුණ අනුව ඒක පාදඩ, ජඩ වගේම පිවිතුරු එකක් කරන්නත් පුලූවන්.
    නිදසුනක් විදියට ලෙඩට බෙහෙතක් ගන්න ගියහම ඒකට දුප්පත් පොසත් බේදය බාදක වෙන රටක මිනිසුන්ට පීඩාවක් නිර්මාණය වෙනව වගෙම, ඒක වැරදියි කියන පිරිසකුත් ඊට එරෙහිව නිර්මාණය වෙනවා. අපි හිටගන්න  ඕන රටක ප‍්‍රතිපත්ති හදලා තමන්ට  ඕන  ඕන විදියට ක‍්‍රියාත්මක කරන අයගේ පැත්තේ නෙවෙයි. අපේ පැත්තේ. එහෙම නැත්තම් පීඩාවට පත්වෙන, තැලෙන පොඩි වෙන මිනිස්සුන්ගෙ පැත්තේ. එහෙම නැතිව පාලක කල්ලිය නියෝජනය කරනවනම් ඒකට කියන්න වෙන්නේ අර කිව්ව පාදඩ දේශපාලනය කියලයි.
    එහෙම නම් මේ දේත් අපි කථාකරන්න  ඕන. මේ සමාජ ක‍්‍රමය ඇතුළේ නිර්මාණය කරල තියෙන හැම පීඩාවකටම බලය හිමි පාදඩ දේශපාලන කල්ලිය වගකිව යුතුයි. එහෙම වග කියන්නේ නැත්තම් ඔවුන්ට විරුද්ධව නැගී සිටින්නට වෙනවා. දැන් හිතන්නකො පීඩාව නිර්මාණය කරන අය පේන්න ඉද්දි, එයාලව දැක්කෙවත් නෑ වගේ ඉදලා, අපේ පීඩාවට විසදුම් දෙන්න කියලා දෙයියන්ට අදෘශ්‍යමාන බලගවේග වලට කියන එක කොයි තරම් හිනා යන වැඩක්ද කියලා.

-    තැන්නේ ඤාණානන්ද හිමි

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>