අධ්‍යාපනය තුළ නිදහස-----------------------------

ආකිමිඩිස් අලුත් දෙයක් හොයාගත්තු ගමන් තමන් නිරුවතින් කියලත් අමතක වෙනතරම් සතුටින් දිව්වා. අධ්‍යාපනය කියන්නෙ මිනිහෙක්ව එච්චරටම සතුටු කරන්න පුළුවන් දෙයක්. පොඩි ළමෙක් අම්මත් එක්ක බස් එකක යනකොට අපි ඒ ළඟ හිටියොත්
"ඒ මොකක්ද අම්මෙ? ඒ ඇයි අම්මෙ? ඒ කව්ද අම්මෙ?....................... "
මේ වගේ දාහක් ප්‍රශ්න අහනවා කියන ඒක ඔබත් අත්විඳලා ඇති. සමහරවිට ඔබටත් මතක ඇති ඔබේ පොඩි කාලෙ අම්මගෙන් ඒ වගේ ප්‍රශ්න අහනවා. පොඩිකාලේ අපි හැමෝමත් ආකිමිඩිස් වගේ ඉගෙනගන සතුටක් ලබපු මිනිස්සු කියන එකට මීටත් වඩා තව උදාහරණ මොනවටද? අපි හැමෝම අධ්‍යාපනෙන් සතුට ලබපු මිනිස්සු.

ඒත් ටික ටික ලොකුවෙලා ඉස්කෝලෙ යනකොට ළමයින්ගෙ ඇතුලෙන් ඒ ආසාව අයින් වෙනවා. ළමයි කිසිම සතුටකින් නෙමෙයි ඉස්කෝලෙ යන්නෙ. කොහොමහරි ඉස්කෝලෙ ගිහිල්ල සරසවියට ගියාමවත් ආය ඒ සතුට ලැබෙයි කියල හිතුවට එහෙත් දැන් මේ නිදහස ටික ටික ඇහිරෙනවා. 80%ක් අනිවාරෙන් දේශන වලට යන්න ඕන කියල එහෙත් නීති දාල. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනේ කුඩු පට්ටම් වෙලා , ඇයි මේ? ඒ පොඩි කාලෙ අපේ ඇඟේ ඉඳපු ආකිමිඩිස් ලොකුවෙනකොට අතුරුදහන් වෙලාද?

අපි සමාජයක් විදිහට එකතුවෙලා උත්තරේ හොයන්න ඕන ප්‍රශ්නයක් මේක. ඒත් අතීතයේ මේ වගේ ගැටළු වලට මැදිහත් වෙච්ච සරසවි ශිෂ්‍යයොත් දැන් බහුතරයක් හුදු විනෝද කාමියෝ විතරක් වෙලා. මොවුන් අධ්‍යාපනය ලබන්නේත් නෑ, කලාව කරන්නෙත් නෑ, ක්‍රීඩා කරන්නෙත් නෑ, දේශපාලනේ කරන්නෙත් නෑ කිසිම වැඩක් කරන්නේ නෑ.. මුකුත්ම නොකරන අපතයෝ ටිකක් විතරක් වෙලා.. සරසවි ශිෂ්‍යයො විතරක් නෙමෙයි මුළු සමාජෙම පොදු දේ වලින් ඈත් වෙලා. මේක මේ සමාජ ක්‍රමේ විසින්ම හදන කාලකන්නි කමක්. මේ ධනපති අධ්‍යාපන ක්‍රමෙන් හදන්නෙ තනියම දෙයක් හිතන්න බැරි System එකෙන් කියන දේ විතරක් කරන මිනිහෙක්.

ඉතින් සරසවි ඇතුලෙ මේ දවස් වල තව වෙනස් දෙයක් වෙලා. ඔය කියන ධනපති අධ්‍යාපන ක්‍රමෙන් හදපු ආත්මාර්ථකාමී මිනිහ System එකට ඕන අධ්‍යාපනේ ගන්නවත් දේශන වලට එන්නෙ නැති තත්වයක් ඇතිවෙලා. මේකට හේතුව මේ තත්වේ විතරක්ම කියන්නත් බෑ තව ගැටලු තියනවා,

> සිසුන්ගේ පසුගාමී මනෝභාවයන්
> ඉංග්‍රීසි ගැටලු
> දේශන වල ගැටලු
> ආර්ථික ගැටලු
> දේශපාලනික ගැටලු
> සමාජීය ගැටලු
> අධ්‍යාපනය තුළ කලකිරී තිබීම
> නිදහස විඳීමට සුදුසු පරිසරයක් නොමැති වීම
> අධ්‍යාපනය ලැබීමට ලැබුණු සිසුවා අකමැති එකක් වීම
> භෞතික පහසුකම් නොමැති වීම
> අධ්‍යාපනයේ වටිනාකම නොදැනීම
> ....................................

මේ වගේ ගොඩක් ගැටලු තියනවා ප්‍රධාන ගැටලුවත් එක්ක.

ඉතින් මේ ගැටලු හඳුන ගත්තේ නැති පාලකයෝ, අවිඥානික විදිහට 80%ක් පැමිණීම අනිවාර්ය කරලා නීතියක් ගේනව.මොකද ඒ මිනිස්සුත් මේ ධනපති ක්‍රමෙන්ම හැදුන පාලකයෝ මිස බුද්ධිමතුන් නෙමෙයි. ඔවුන්ට හදන්න කියන්නෙ මැරෙනකම් වැඩකරන්න පුළුවන් ශ්‍රමිකයෙක් මිස බුද්ධිමතෙක් නෙමෙයි. ඉතින් මේකෙන් තැලෙන පිරිස තමයි පුස්තකාලෙට, අන්තර්ජාලෙට ගිහින් ඉගෙනගන්න අයයි, කලාව දේශපාලනේ ක්‍රීඩාව සහ අනෙකුත් භාහිර කටයුතු කරන අයයි , මානුෂිය සාධක මත දේශන මගහැරෙන පිරිසයි බව හිතන්නවත් ඔවුන් ප්‍රඥාවන්ත නෑ , ඔවුන් ඒ තරම්ම යාන්ත්‍රිකයි. මොවුන් වගේ ඉහළ ඉන්න අඥානයින් විසින් හදපු සමාසික ක්‍රමේ ඇතුලට 80% දාල ධනපති ක්‍රමේට ඕන නිමැවුම හදලදෙන්න තමා ඔවුන් බැඳිලා ඉන්නෙ. ඒ විතරකින් නවතෙන්නේ නැතුව ඔවුන් මේක පාවිච්චි කරනවා ශිෂ්‍ය දේශපාලනේ මර්ධනේ කරන්නත්. ඒ නිසා මේ නීති වලට හිස නමනවා යනු ජිවිතයම ධනපතියෙකුට මුදල් උපයා දීමට කොන්දේසි විරහිතව එකඟ වනවා වන්නක්.

ඉතින් කාට හරි මේ අධ්‍යාපනේ නිදහස අහිමි කිරීම සම්බන්ධව සටනක් කරනවානම් ඔවුන්ට සටන් දෙකක් තියනවා,

01. අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීමේ සටන( පාලකයින් සමග )

02. නිවැරදි සමාජ ක්‍රමයක් එනතුරු සිසුන් අධ්‍යාපනයට යොමු කරවා ගැනීමේ සටන ( සිසුන් සමග)

මේවාට විසඳුම් සොයනවා මිස නීති පැනවීම විසඳුම නොවෙයි. සටන් කිරීමද ශාස්ත්‍රීය සටනක් සමග සබැඳුණ එකක් විය යුතුමය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>