අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ඉන්දියානු සිසුන්ටත් දරුණු පොලිස් ප‍්‍රහාර...

ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මූලිකත්වයෙන් ප‍්‍රාන්ත අගනුවර වන ශිම්ලා නඟරයේ පැවති විරෝධතාවයකට ඊයේ(මාර්තු 18 දින) දරුණු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. 
සරසවි මඟින් ශිෂ්‍යයන්ගෙන් අයකරන ගාස්තු වැඩි කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්තු 18 දින මෙම විරෝධතාවය පවත්වන ලදී. මේ සඳහා හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ද වී තිබේ. මෙය සංවිධානය කරනු ලැබුවේ ‘ඉන්දියානු ශිෂ්‍ය බලමණ්ඩලය’යි.(SFI) මෙම උද්ඝෝෂණයේ ඉල්ලීම් අතර ගාස්තු අඩුකිරීම, අධ්‍යාපනය සම්බන්දයෙන් කි‍්‍රයාත්මක කිරීමට අරඹා ඇති නවලිබරල් වැඩපිළිවෙළ හකුළා ගැනීම මෙන්ම මෙතෙක් කල් දමමින් ඇති ශිෂ්‍ය සංගම් නිළවරණ යළි පැවැත්වීම ප‍්‍රධාන විය.
ශිෂ්‍යයින් උද්ඝෝෂණයෙන් හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්ත රාජ්‍ය සභාව දක්වා ගමන් කිරීම වැළැක්වීමට පොලිසීය යොදවා පහර දෙන ලදී. අධි පීඩන ජල ප‍්‍රහාර, බැටන් ප‍්‍රහාර නොතකා ශිෂ්‍යයින් කොටසක් රාජ්‍ය සභාවට ළඟාවූ අවස්ථාවේ පොලිසිය හා ශිෂ්‍යයින් අතර දරුණු ගැටුමක් ඇතිවිය. මින් විශාල ප‍්‍රමාණයක් තුවාල ලබා ඇත.
පහර දීමෙන් අනතුරුව ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් 30 කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතින් පයින් පවා පහර දෙමිනි. අත්අඩංගුවට පත් පිරිස අතර ඉන්දියානු ශිෂ්‍ය බලමණ්ඩලයේ ජාතික සභාපති වී. සිවදාසන්, හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභාපති පුනීත් චන්ටා මෙන්ම ප‍්‍රාන්ත ලේකම් සුරේෂ් සර්වාල් යන සහෝදරවරුද වේ. මේ අතර (SFI) ජාතික සභාපති වී. සිවදාසන් සහෝදරයාට අත්අඩංගුවෙන් පසු පොලිස් ස්ථානය තුළදී පහරදී ඇති බවත් ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් වාර්තා වේ. පොලිස් ස්ථානය අවට පදිංචිකරුවන් පවසන ආකාරයට පොලීසිය තුළින් විලාප තැබීම් ඇසෙන බවත්, දිගින් දිගටම පොලීසිය තුළදී ශිෂ්‍යයන්ට පහරදෙන බවත් වාරතාවේ.
හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය තුළ නම් දැරූ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතන විශාල ප‍්‍රමාණයක් ඇති අතර එය ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සුවිශෙෂී වැදගත්කමක් දරන ප‍්‍රාන්තයකි.
මෙම ප‍්‍රහාරය එල්ල වන විට මියන්මාර් ශිෂ්‍ය උද්ඝෝෂණයට පහරදී ගතවූයේ දින 08 ක් පමණි. තවමත් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මියන්මාර් ශිෂ්‍යයින්ද නිදහස් කර නොමැත. ලොව පුරා පාලකයන් වේගවත් කරමින් සිටින නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ හමුවේ අධ්‍යාපන අයිතිය අහිමි වීමට එරෙහිව විශාල ශිෂ්‍ය විරෝධතා පසුගිය වසර කිහිපය තිස්සේ තීව‍්‍ර වෙමින් පවතී. ඒවා මර්දනය කිරීම සෑම රටකම පාලකයන්ට පොදු වූ කරුණකි. ලංකාව තුළද අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ එම යතාර්ථයටයි. ජනාධිපති සහ ආණ්ඩු වෙනස් වූවත්, වෙනස් නොවන ලෙස අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ප‍්‍රතිපත්තිය වේගවත් වෙමින්, පාසල් තුළ මුදල් අයකිරීම නිතිගත කරමින්, පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිකරමින් මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව කටයුතු කරමින් සිටීමෙන් මේ බව පැහැදිලිවේ.  

















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>