පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත‍්‍රණය අවලංගු කිරීම සම්බන්දවයි.

2014-12-09
ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක/කර්තෘ
මහත්මයාණෙනි/මහත්මියණි,

පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත‍්‍රණය අවලංගු කිරීම සම්බන්දවයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස අපි දෙසැම්බර් මස 10 වන දින(හෙට දිනයේදී* ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට සූදානම් කොට තිබිණී. ඒ ‘නිදහස් සෞඛ්‍ය සේවාවක් දිනාගනිමු!’ යන මැයෙනි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මෙතෙක් ජනතාවට හිමිව තිබූ සීමිත සුභසාධන පවා කප්පාදු කරමින්, සියලූ දෑ මුදලට විකුණන, මිලදී ගන්නා වෙළඳ භාණ්ඩ බවට පත්කළ බව අපි දනිමු. 2010 දෙවන වර පත්වීමෙන් පසුවද එය තීව‍්‍ර කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමට මේ වන විටත් දැවැන්ත උත්සාහයක් ගනිමින් සිටියි. පුද්ගලික විශ්ව විද්‍යාල දැවැන්ත අනුග‍්‍රහයක් ලබාදෙමිනි ඉදිකිරීම, රජයේ විශ්වවිද්‍යාල, පාසැල් තුළ අධ්‍යාපනය මුදලට විකිණීම, අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදුව වැනි ක‍්‍රියාමාර්ග ගණනාවක් හරහා නිදහස් අධ්‍යාපනය තීරණාත්මක ලෙස අවසන් කිරීමටත්, ලාභ ලැබිය හැකි අධ්‍යාපන පද්ධතියක් මඟින් එය ප‍්‍රතිස්ථාපනය කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ‘ජනතාවාදී’ ආණ්ඩුව විශාල වශයෙන් කටයුතු කරගෙන යයි. සෞඛ්‍ය සේවාවටද එම පිහිටම බව අපි සමාජයක් ලෙස අත්දකිමින් සිටිමු.
නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය ගැන පාරම්බාමින් පිටිපස්සේ දොරෙන් සෞඛ්‍ය සේවාව තුළ වෙළඳ පොළ ඇති කරමින් සිටී. බෙහෙත් හේත්, ශල්‍යකර්ම වලට අවශ්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ ආදී සියල්ල රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික ආයතන වලින් මුදල් ගෙවා ලබාගැනීමට අද වන විට ජනතාවට සිදුවී ඇත. රෝගීන්ගෙන් වැඩි ප‍්‍රතිශතයකට ප‍්‍රතිකාර ගැනීමට සිදුවී ඇත්තේ මුදල් ගෙවමිනි. නමුත් ජනාධිපතිවරයාට හා ඔහුගේ කල්ලියට අනුව තවමත් අපේ රටේ ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවාවකි.
එම නිසා මෙම බොරුව හෙළිදරව් කරමින්, වත්මන් පාලකයින් නිදහස් සෞඛ්‍ය සේවාවට කරමින් සිටින දේ මෙන්ම සැබෑ නිදහස් සෞඛ්‍ය සේවාවක් දිනාගැනීමට නම් අප ඒ සඳහා කළ යුතු අරගලය ගැනත් මේ සමාජය තුළ විශාල කතිකාවතක් ඇරඹිය යුතුය. බොරුවට නිදහස් සෞඛ්‍ය සේවාව ගැන පාරම්බාන පාලක තක්කඞීන්ගේ සැබෑව හෙළිදරව් කළ යුතුය. අපි හෙට සවස 03 , කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඉහත සම්මන්ත‍්‍රණය පැවැත්වීමට සූදානම් වී සිටියේ ඒ සඳහා ආරම්භක පියවරක් ලෙසය. කුඩා පොත් පිංචක් එළිදැක්වීමටද සියළු කටයුතු සූදානම් කරතිබිණි. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති ගණනාවක්ද පෙළ ගැසී සිටියහ.
නමුත් ඊයේ දිනයේ ඉතිරි මුදල් ගෙවීම සඳහා අදාළ ආයතනයට ගිය අප සහෝදරවරුන්ට අදාළ බළධාරීන් දැනුම් දී තිබුණේ ශාලාව ලබා දිය නොහැකි බවයි. කලින් ලබාදී තිබුණද, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට ශාලාව ලබා නොදීමට තමන්ට ඉහළ බළධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බව ඔවුන් දැනුම් දෙන ලදී. 
ඒ අනුව පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත‍්‍රණය අවලංගු කිරීමට සිදුවූ අතර, වත්මන් පාලකයන්ගේ හැසීරීම ගැනද මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි බව අපගේ අදහසයි.
අපි නිදහස් සෞඛ්‍ය සේවාව අහෝසි කිරීමේ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණයට මෙන්ම මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවලියටද දැඩි ලෙස විරුද්ධ වන අතර, පාලකයන්ගේ මෙම කි‍්‍රයාවලට විරුද්ධව පෙරට එන මෙන් සමාජය තුළ සිියළු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මීට 

නජිත් ඉන්දික
:කැදවුම්කරු


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>