ශිෂ්‍ය පා ගමනට පොලිස් ප්‍රහාරයක්, සිසුන් 12කට බරපතල තුවාල

අධ්‍යාපනය විකිණීම නැවතීම,  මහපොළ හා ශිෂ්‍යධාර රු 5000ක් දක්වා ඉහළ නංවා ගැනීම, සබරගමුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාල වල දැනට නිර්මාණය වී ඇති ප්‍රශ්ණ වලට  විසදුම්  ලබාගැනීම, වෘත්තීය තාක්ෂණික ආයතන වල ගැටළු විසදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්  මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව දක්වා සංවිධානය කල විරෝධතා පා ගමනක් අද (21) කොළඹ දී පැවැත්විණ. මෙම පාගමන පාර්ලි‌‌මේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිසිය සිදුකල කඳුළු ගෑස්  සහ ජල ප්‍රහාර හේතුවෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර  එයින් බරපතල ලෙස තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙයින් සිසුන් දෙදෙනෙකු අස්ථි බිඳීම් වලට ලක්ව ඇති අතර, සිසුවියන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ කළුබෝවිල මහා රෝහලේ සිසුන් 4 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. එසේම අනතුරට පත්වූ තවත් සිසුවියක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ඒකරාශී කරගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කලේ, සමස්ත සමාජයක අධ්‍යාපන අයිතිය දිනා ගැනීම අරමුණු කරගනිමිනි. ආණ්ඩුව දිගින් දිගටම ස්වකීය අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින මොහොතක ශිෂ්‍ය ව්‍යාපාරය  ඊට විරෝධතාව දැක්වීමේ අරමුණෙන් මෙම උද්ගෝෂණය හා පාගමන සංවිධානය කෙරුනේ අඛණ්ඩ අරගලයක එක් පියවරක් වශයෙනි.
නමුත් සිසුන්ගේ හා ජනතාවගේ ඉල්ලීම් වලට කන් දීම හෝ අයිතීන් ලබා දීම වෙනුවට ඒ වෙනුවෙන් අරගල කරන ජනතා බලවේග වෙත කුරිරු රාජ්‍ය ත්‍රස්තය මුදාහැරිමේ සුපුරුදු පිළිවෙත මෙම ප්‍රහාරය හරහාද  මෙරට පාලක පන්තිය ප්‍රදර්ශනය කොට තිබේ. ජනතා පරමාදිපත්තියේ මුදුන් මල් කඩ යැයි කියාගන්නා පාර්ලිමෙර්න්තුව දක්වා සිසුන් සංවිධානය කල සාමකාමී පාගමනට මෙසේ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීම හරහා ප්‍රදර්ශනය කොට ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයේ තරමයි. මෙය දිගින් දිගටම ශිෂ්‍ය ව්‍යපාරය විසින් පමණක් නොව සියලු පිඩිත බලවේග සිය අයිතීන් දිනාගැනීම සඳහා ගෙන යන අරගලයේදී මැතකාලිනව බහුලව අත්දකිමින් සිස්ටීන යථාර්තයකි. අධිකරණ විසින් සිසුන්ගේ සාදාරන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා දෙන ලද  තදියම් කාරී තීන්දු හා  සිසුන්ගේ මුලික අයිතීන් පවා උල්ලංඝනය වූ අවස්ථාවන් වලදී අනුගමනය කල නිහඩ පිළිවෙත් නීතියේ ඊනියා සදාරණත්වය නැමැති හෙළුවද, දේශයේ මුර දේවතාවන් යැයි ජාතිවාදීන්  කෑමොර දෙන ආරක්ෂක අංශ එල්ල කල තුච්ඡ ප්‍රහාර හරහා මොවුන් කාගේ රැකවලුන් යැයි වන වගද ආදී වශයෙන් ඊනියා ප්‍රජාත්‍රන්තවාදයේ සියලු සළුපිලිද දිගින් දිගටම උනා දමන ලදී . මෙහිදී ජනතාවට සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මෙකි ව්‍යජයන් පසුපස යාම වෙනුවට සියලු පිඩිත බලවේග ඒකරාශී කර ගනිමින් විදියේ සටන් වදින සැබෑ ජනතා බලයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කරයි.     

ශිෂ්‍ය ව්‍යපාරය ඒ සඳහා වන අරගලය මේ වන විටත් ආරම්භ කොට ඇති අතර එය මෙවැනි කිසදු ප්‍රහාරයක් ඉදිරියේ නවතා දැමීමට සුදානම් නොවන බවද, සැබෑ ජනතා අයිතීන් තහවුරු කරන සමාජ යථාර්තයක් නිමානය කිරීම දක්වා එකී අරගල ගෙනයන බවත් දැඩි ලෙස අවදාරණය කරන අතර ඒ සඳහා සියලු පිඩිත බලවේග වලට දැඩි සහෝදරාත්මකව ඇරයුම් කර සිටිමු.











අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>