තම්පෝගේ සමුගැනීම

 
 බාල තම්පෝ සහෝදරයා පසුගිය සැප්තැම්බර් 01 ඳා සදහටම සිය දෙනෙත් පියා ගත්තේය. ලංකාවේ කම්මරු සටන් ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඔහු තබා ඇතිවාට සැක නැත. මිය යන විට 92 වන වියේ පසු වූ ඔහු දශක 7කට වැඩි දේශපාලන ජීවිතයකට හිමිකම් කීවේය. ඔහුගේ දිවිය ගැන යම් දේශපාලන ඇගයීමක් අවශ්‍යවන්නේ ඔහු වැන්නවුන් සමාජ ඓතිහාසික තත්වයක් තුළ තීරණාත්මක කාර්යය කොටසක් කළවුන් නිසාය.

1947 දී පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරයෙක්ව සිටියදී සිය අධිරාජ්‍ය විරෝධී අදහස් හේතුවෙන් වැඩ තහනමට ලක්වන තම්පො සහෝදරයා එ්වන විටත් ඔහු සම්බන්ධව සිටි ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය දේශපාලනයට පිවිසුණි. ලංකා සමසමාජ පක්ෂයේ සභාගවාදී ප‍්‍රවේශයන් පිළිබඳ තියුණු වාදයක් පක්ෂය තුළම පැවති අතර සභාගවාදී සමසමාජයට එරෙහිව තීරණාත්මක පියවරක් ඔහු ඇතු`ඵ පිරිසක් පිවිසුණි. පක්ෂයේ සභාගවාදී දේශපාලනයට හා 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවා දීමට එරෙහිව 1964 දී කරාලසිංහම්, බාලතම්පො, එඞ්මන් සමරක්කොඩි ඇතු`ඵ පිරිසක් විප්ලවකාරී සමසමාජ පක්ෂය ලෙස නව දේශපාලන පක්ෂයකට පණ දුන්නේය. එම දේශපාලන ගමනද පසුකාලීනව අසාර්ථක වන විට ඔහු මු`ඵමනින්ම සිය දේශපාලනය කර ගනු ලැබුවේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වසර 66ක් තම්පෝ ලේඛම් ධුරය දැරූ ලංකා වෙළඳ හා කාර්මික සේවක සංගමය විශාල සමාජ බලපෑමක් සහිතව කි‍්‍රයාත්මක වූ වෘත්තීය සමිතියකි.

වෘත්තීය සමිති දේශපාලනය මු`ඵ ජීවිතයම වුවත්, විප්ලවය, කම්කරු පංතියේ කාර්යය භාර්යය, සමාජවාදය කිසිදිනක ඔහු මතවාදීව බැහැර නොකළේය. ඒ වෙනුවෙන් සටන් කළ තවත් ව්‍යාපාර වලට බොහෝ විවේචන තිබිය දීත් සහය දිය යුතු තැනදී සහය දීමේ භාවිතාවක්ද සතු විය. 1971 නැගිටීම පිළිබඳ තදබල විවේචනයක් පැවතියද අධිකරණය ඉදිරියේ සටන්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූ නීතීඥයන් කිහිප දෙනා අතරින් ඔහු ද අයෙකි. අනෙක් කරුණ වන්නේ ඔහු එය සිදු කරනු ලැබුවේද කිසිදු මුදල් අයකිරීමකින් තොරවය. 1980 ජුලි වැඩ වර්ජනයේ ඔහුගේ ස්ථාවරය වූයේ වැඩ වර්ජනය අසාර්ථක බවත් එය නොකළ යුතු බවත් යන්නයි. එහෙත් ඔහු ඊට සහාය දුන්නේය. එහිදී ඔහු කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වන්නේ ‘‘ කරපල්ලා, කරලා පාවාදීපල්ලා’’ යන්නයි. 

සාමාන්‍යයෙන් මිනිසුන් මිය ගිය විට කියන්නේ ඔහුගේ හොඳය. එහෙත් තම්පෝගේ දේශපාලන භාවිතාව තුළ තිබුණු සීමාකාරීත්වය මතු නොවුන හොත් එය තම්පෝ සහෝදරයා විශ්වාස කළ දේශපාලන අරමුණට පටහැනි වනු ඇත. විප්ලවය, කම්කරු පංතිය, සමාජවාදය පිළිබඳ ඔහුට අචපල විශ්වාසයක් පැවතියත්, නිර්ධන පංතිය කෙරෙහි තිබූ විශ්වාසය ඔහුගේ දිවියෙන් ක‍්‍රමාණුකූලව පහව ගිය බව පෙනේ. එය සමහර විට තම්පො සහෝදරයා මුහුණ දුන් දේශපාලන අත්දැකීම් වල ප‍්‍රකාශනයක් විය හැක. තමා සිටි දේශපාලන පක්ෂය සභාගවාදයට ඇද වැටීමත්, ඉන් අනතුරුව ගොඩනැගූ පක්ෂයත් නැවත සාර්ථක නොවීමත් යන අභාවාචක අත්දැකීම් නිසැකවම ඔහුට බලපාන්නට ඇත.

එහෙත් තම්පෝ සහෝදරයාගේ දේශපාලන භාවිතාව අද බොහෝ වෘත්තීය සමිති සීමා වී ඇති වෘත්තීය සමිතිවාදයට, ආර්ථිකවාදයට සීමා වූ බව කිව යුතුය. වෘත්තීය සමිතිවාදය, ආර්ථිකවාදය කම්කරු පංතියේ දේශපාලන සිතීම මොටකරන ප‍්‍රවණතාවයන්ය. වෘත්තීය සමිතිවාදය, ශ්‍රේණිවාදය, ආර්ථිකවාදය කෙතරම් බරපතල ලෙස අදවන විට කම්කරු පංති ව්‍යාපාර තුළ ඉහවහා ගොස් තිබේද? සමාජ ක‍්‍රමය වෙනස් කරනවා තබා ප‍්‍රබල ආණ්ඩු විරෝධයක් ගොඩනැගීමට නොහැකි තරමට කම්කරු පංතියේ ශක්තිමත් බාවය දුර්වල වී ඇත්තේ ඉහත මතවාදයන්ගේ ආනුභාවයෙනි.

රාජපක්ෂ, වෘත්තීය සමිති නායකයින්ට රණ්ඩු නොකරන ලෙසට උපදෙස් දෙන තැනට ආරූඪවී සිටී. කම්කරු පංතියේ එක් තැනක සිදුවන අරගලයක් පීඩිතයින්ගේ තවත් කොටසකට එරෙහි යමක් බවට අරුත්ගන්වන්නට පාලකයන් සමත්ව සිටී. වෘත්තීය සමිති බොහෝමයක සිටින නිලධාරි පැලැන්තිය සිය පැවැත්ම සඳහා මේ උගුලේ්ම යලි යලි පැටලැවේ.

සැබැවින්ම කම්කරු පන්තිය වෘත්තීය සමිතිවාදය, ආර්ථිකවාදය, ශ්‍රේණිවාදය නමැති උගුලෙන් ගලවා ගැනීමට බොහෝ නිර්මාණශීලි, අප‍්‍රහිත ධෛර්යයෙන් යුතු මැදිහත් වීමක් අවශ්‍යය. පැහැදිලිවම නිර්ධන පංති පක්ෂයක මැදිහත් වීමක් අවශ්‍යය. තම්පෝ සහෝදරයා ඇවිද ගිය දුරට ආචාරය පුදකරන අතරතුරම ඔහු නොගිය දුර යා හැක්කේ මෙලෙසිනි. මේ සියල්ල මැද වුවත් ඔහුට ආචාර කරමු. අප එසේ කරන්නේ දණින් වැටුණු සමාජයක, නායකයින් යැයි කියා ගන්නාවුන් තොග පිටින් විකිණෙන සමාජයක දෙපයින් නැගීසිටි මිනිසෙකුගේ නික්මයාම ගැන අපගේ හදවත් දුක්බර වන නිසාය. පසුගිය සියවසක් පුරා හමා ගිය චණ්ඩ මාරුතයන් අභිමුව නොසැලූණු වෘක්ෂයක්, අද නිසලව වැතිර සිටින නිසාය.

උපුටා ගැනීම - ජනරළ

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>