ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ අනාගතය නියෝජනය කරපු ව්‍යාපාරයක් - නජිත් ඉන්දික

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සංවිධානය කල "නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම" පා ගමන හා රැළිය දින 10 වෙනිදා පැවැත්විය. සෞන්දර්‍ය් කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පා ගමන හයිඩ් පිටිය දක්වා පැමිණි අතර හයිඩ් පිටියේදී සිසු ජන රැලිය පැවැත් විය. සිසුන්,විශ්වවිද්‍යාල අචාර්‍යවරු, වෘතීය සමිති,සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් රැසක් සහභාගි විය. 
\
එහිදී රැළිය ඇමතූවන් පළ කල අදහස්


රයන් ජයතිලක 
කැඳවුම්කරු - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව 



අධ්‍යාපනය කියන්නේ සමාජයක් ලෙස ඉතිහාසයක් තිස්සේ රැුස් කළ දැනුම. නව ලිබරල් ධනවාදය යටතේ අධ්‍යාපනය සීමිත ධනපතියන් සඳහා වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා. 1977 විවෘත ආර්ථිකය යටතේ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ආවාග පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආවා. වෙනුර එදිරිසිංහලා ඝාතනය වුණා. මේ ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරමින් ඉන්නවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භයේ සිටම ක‍්‍රියාත්මක වන්නේ සක්විති පන්නයේ ජාවාරමක් විදියට. 

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කරන්න ආණ්ඩුව සෘජුව මැදිහත් වෙනවා. මේක තමයි මේ පාලකයන්ගේ ක‍්‍රමය. අධ්‍යාපනය සමාන අයිතියක්ය යන්න පාලකයන්ට අදාල නෑ. ජීවිත පවා අදාල නැති තත්ත්වයට මේ නවලිබරල් ධනවාදී සමාජ ක‍්‍රමය පත්වෙලා. 

සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය ගත්තම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න රෝගීන්වත් පරීක්ෂා කරන්නේ නෑ. මේක තමයි මේ නවලිබරල් ධනවාදයේ උවමනාව.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකරී කමිටුව අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් සටන් කළා. ඉදිරියටත් සටන් කරනවා. 
නවලිබරල් ධනවාදයේ අර්බුධය තමයි මේ සියළු ක්ෂේත‍්‍රවල අර්බුද හරහා දක්නට තියෙන්නේ. අපි ඊට එරෙහිව සටන් කරනවා. 



තැන්නේ ඥානානන්ද හිමි
කැඳවුම්කරු - අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය



මේක මුළු සමාජයම නව ලිබරල් ධනවාදය විසින් ගිලගත් මොහෝතක්. ලංකාවේ විශ්වවිද්‍යාල නියොජනය භික්ෂු ප‍්‍රජාව මේ අරගලයට ශක්තිය දෙන්න කොටස් කරුවන් විදියට ඉතිහාසයක් පුරාවට හිටියා. ලාංකික භූමිය මතින් විවෘත ආර්ථිකය හැකිළීමේ, අවසන් කිරීමේ දිශාව සකස් කරන්න අත්වැල් දුන්නා. ඉදිරියටත් දෙනවා. 

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ප‍්‍රතිසංස්කරණ ඔළුවේ රඳවාගෙන පාලකයන් මිණ්දිරවලට වෙලා ඉඳන් විශ්වවිද්‍යාල භක්ෂු ප‍්‍රජාවට කියනවා ඒ දුර්දාන්ත ප‍්‍රතිසංස්කරණවලට පිරිත් කියන්න බෝධි පූජා තියන්න එන්නලූ. ඒත් අපි කියනවා ලංකාවේ බුද්ධිමත් පිරිසක් ලෙස, විශ්වවිද්‍යාල භික්ෂු ප‍්‍රජාව ලෙස, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ලෙස ඒ දුර්දාන්ත පාලකයන්ට පිරිත් කියන්න අපි ලෑස්ති නෑ. 

ඔබට, අපිට, තරාතිරමකින් තොරව අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය මේ හැම අස්සක් මුල්ලක් නෑරම මෙම පාලකයන් අත පොවලා ඉවරයි. ඒ මුදල ලාභය සඳහා ඒවායේ කුණු වහන්න, ඒවාට උඩගෙඩි දෙන්න අපි ලෑස්ති නෑ. 

මේ මදන දේශපාලනය මෙතෙක් කල් ඉස්සරහට අරගෙන ගියේ ජාතිවාදයේ සාටකය වස්ත‍්‍රය පාවිච්චි කරමින්. ඒ තුළ සැබෑ ප‍්‍රශ්න දුර්වරණ වෙලා මැකිලා ගියා. සැබෑ ප‍්‍රශ්න මහ පොළවට ගෙනල්ලා ඒ වෙනුවෙන් කතා කරන්න සංවිධානය වෙන්න අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ලෙස අපි දෙපාරක් හිතන්නේ නෑ. අත්වැල් දෙන්න, සංවිධානය වෙන්න අපි සූදානම්. ඒ බලවේග එකතු කිරීමට සරසවි භික්ෂු ප‍්‍රජාව ලෙස අපි සූදානම්. 

මේ සියළු ප‍්‍රශ්න එන්නේ නවලිබරල් ධනවාදය ඇතුළේ. ඒ නිසා ඊට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අත්වැල් බැඳගමු, සංවිධානය වෙමු. සටනම තෝරාගමු.


ජයන්ත රන්දෙනිය
ගොවි අරගල මධ්‍යස්ථානය 



විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට හොඳ ප‍්‍රවේශයක් අරගෙන තියෙනවා. එක් එක් බලවේග හුදෙකලාව සටන් කරන මොහොතක එම සියළු බලවේග වේදිකාවට ගොනුකරලා තියෙනවා. 

සියළු මිනිසුන්ට ජීවත් වීමට ආහාර ඕන. ඒ කියන්නේ ගොවි ජනතාව ඕන. ගොවියාට වගා කරන්න නම් ඉඩම්, බීජ, වතුර, ඕනෙ. 

එක්දහස් නමසිය අනූ ගණන්වල බහුජාතික සමාගම් කාරයෝ හරිත විප්ලවය කියලා එකක් ආරම්භ කළා. අද මොන්සැන්ටෝ ප‍්‍රමුඛ බහු ජාතික සමාගම්වල උවමනාවට බීජ පනතක් ගෙනල්ලා තියෙනවා ගොවිතැන පෞද්ගලීකරණය කරන්න. 

ගොවියන්ගේ වතුර ටික මිල කරීමට ජල කලමනාකරණ පනත ගෙනාවා. මේ රටේ ගොවියෝ කරපු අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස හකුළා ගත්තු ජල කලමනාකරණ පනත නැවත ගේන්න උත්සාහ කරනවා. 

මහවැලිය හැදුවම ගොවියෝ හිතුවා අපිට වතුර ටික එනවා වගා කරන්න පුළුවන් කියලා. ඒත් දැන් ඒ වතු විකුණන්න ආණ්ඩුව පනත් ගෙන එමින් සිටිනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල එක්ක ගිවිසුම් ගහගෙන තියෙනවා. 

අද ජලාශවල වතුර තියෙනවා යල කන්නය වගා කරන්න. ඒ වුණාට වතුර ටික දෙන්නේ නෑ. ගොවිතැන විනාශ කරලා පාලකයෝ කියනවා වතුර දෙන්න නම් සොයා බෝංචි වගා කරන්න කියලා. ලංකා ඉතිහාසේ පළවෙනි වතාවට වී වගා කළා කියලා ගොඩියෙක්ව හිරේ දැම්මා. දැන් අපිට වගා කරන්න වෙලා තියෙන්නේ බහුජාතික සමාගම් කාරයෝ කියන විදියට. 

මේක ගොවීන්ට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක නවලිබරල් ධනවාදයේ ප‍්‍රශ්නයක්. ඒ හින්දා තනි තනිව සටන් කරලා ජයග‍්‍රහණය කරන්න බෑ. ගොවියෝ, ශිෂ්‍යයෝ, ධීවරයෝ, කමිකරුවෝ ඇතුළු සටන් කරන සියළු බලවේග විදියට කරන සාමූහික අරගලයකින් විතරයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. 


මහින්ද ජයසිංහ 
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය 



අපි කවුරුත් දන්නවා රට තුළ එක පැත්තකින් අධ්‍යාපනය සංහාරයට ලක්කරලා. සුභසාධන පහසුකම් කප්පාදු කරලා. ප‍්‍රවාහන, විදුලිය, සෞඛ්‍ය, සුභසාධන පහසුකම් කප්පාදු කළා. 1974 දී අධ්‍යාපනයට 6% ක් වෙනුකළා. අද 4% ක් දක්වා අඩු කළා. අද බුක්ති විඳින්නේ 1977 ගෙනාපු කොල්ලකාරී ධනවාදයේ ප‍්‍රතිඵල. 

ප‍්‍රතිපාදන කපනවා, පාඨමාලා කපනවා. සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කළා. සෞන්දර්ය උපාධිය කප්පාදු කළා. මේ කප්පාදුවලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය, ගැටෙද්දී, කටුනායක රොෂේන් චානක ඝාතනය කළා, රතුපස්වල, තුන්තානෙ ඝාතනය කළා. ඉඹුල්ගොඩදී ශිෂ්‍යයන් දෙන්නෙක් ඝාතනය කළා. 

අරගල කරනකොට ඒ අරගල මර්දනය කරන්න ඒ අරගල මර්දනය කරන්න, ධනපති නීතිය, උසාවිය, බැටන් හමුදාව යොදාගන්නවා. අපට ඉතිරි වෙලා තියෙන්නේ අරගල මාවත, සටන් මාවත විතරයි. ගොවි, ශිෂ්‍ය, කම්කරු සටන් කරන බලවේග සියල්ලටම ඉතිරිවෙලා තියෙන්නේ සටන් මාවත විතරයි.

රාජපක්ෂ ආණ්ඩුව රොෂේන් චානකව මාරා දැම්මේ, කටුනායක වැඩ කරන ජනතාව පරාද කරන තුනෙන් දෙකේ බලය පරාජය කරන්න සමත් වුණු ජනතාවට පුළුවන් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න. සටන් ඇතුළේ අපි දකිනවා ජයග‍්‍රහණය කරන්න පුළුවන් බව. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අපි ශිෂ්‍ය ව්‍යාපාරයට ප‍්‍රණාමය පුද කරනවා. 

මේ රටේ වැඩ කරන ජනතාව, ශිෂ්‍ය ප‍්‍රජාව, ධීවර සැමට නායකත්වය දෙමින් කොල්ලකාරී රාජපක්ෂ පාලනයට එරෙහිව, නවලිබරල් ධනවාදයට එරෙහිව සටන් කරන්න, අරගල කරන්න වඩාත් ධෛර්යයෙන් පෙරට එන්න. 

ලීනස් ජයතිලක
සභාපති - එක්සත් කම්කරු සංගමය 



මේ රටේ පන්ති ව්‍යාපාරයට මෑත කාලයේ ජවයක්, ධෛර්යයක් එක් කළේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින්. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් දියත් කළ වීරෝධාර සටන්. විශේෂයෙන්ම සමසෞඛ්‍ය සටනට වැඩකරන ජනතාව එක්වීම විශාල ජයග‍්‍රහණයක්. 

ශිෂ්‍ය ව්‍යාපාරය නීති රැුහැන්වලට යටත් නොවී සිටීමේ පාඩම කියාදීම සම්බන්ධයෙන් අපගේ ආචාරය පිරිනමනවා. අද මේ රැුලිය අප සියළු දෙනාට තහවුරු කරන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය කර ඇති විනාශයයි. මේක ශිෂ්‍යයෝ තුළින් ආපු පැහැදිලි දේශපාලන ක‍්‍රියාමාරගයක්. 

මේ රටේ විශේෂයෙන්ම බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ කර්මාන්ත ශාලා තුළ නොවේ. කර්මාන්ත ශාලා තුළ විශාල කම්කරු පිපිරීම් ඇති වුණේ නෑ. මේ අර්බුද මතු වුණේ ගමේ. ගැමි ගොවි ජනතාව තුළ. ඒ අර්බුද කොයිතරම් ප‍්‍රමුඛ වුණාද කිව්වොත්, ගැමි ගොවි තරුණයෝ දෙවරක් තුන්වරක් සන්නද්ධ අරගලවලට යොමු වුණා. ඒ අරගලවලින් ලෙයින් තෙත් වුණු පොළවක් මේක. 

මේ මොහොතේත් සියළු ප‍්‍රශ්න ගමෙන් මතු වෙලා තියෙනවා. අධ්‍යාපනේ ප‍්‍රශ්න, සෞක්‍ය ප‍්‍රශ්න, ගොවියන්ගේ ප‍්‍රශ්න, වතුර විකුණන ප‍්‍රශ්නය ගමෙන් මතුවෙලා තියෙනවා. නවලිබරල් ධනවාදය කාලාන්තරයක් තිස්සේ ගම සූරාකාගෙන ධනපති පන්තිය ගොඩනැගුණා. 

මේක නවත්වන්න නම් ගැමි ගොවි ආර්ථිකය ස්වාධීන කිරීමේ සටන ආරම්භ කළ යුතුයි. ගැමි ගොවි ආර්ථිකය ශක්තිමත් කරන පීඩිතයන්ගේ රජයක් සාදා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ගොඩනගමු.

ඡුන්ද ව්‍යාපාරවල පොදු අපේක්ෂකයෝ හොයාගෙන යන්න අපිට උවමනාවක් නෑ. ඒකෙන් සටන් දින්න බෑ. ශක්තිමත් වමේ ව්‍යාපාරයක් ගොඩනැගීමට එකතු වෙමු. 

සමන් රත්නප‍්‍රිය
කැඳවුම්කරු - රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව



අද ඉතාම පැහැදිලිව මේ රටේ බරපතල ආර්ථික පීඩනයක් දියත් වෙලා. සෞඛ්‍ය ප‍්‍රවාහන සේවා කප්පාදු කරලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැලලිලා. ආණ්ඩුව විදියට රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ඇතිකරලා. 1977න් පස්සේ විවෘත ආර්ථිකයේ ප‍්‍රතිඵලය විදියට අධ්‍යාපනය විකුණනවා, සෞඛ්‍ය විකුණනවා, ප‍්‍රවාහනය විකුණනවා, හැමදේම විකුණනවා, ඊට එරෙහි වන බලවේග මර්දනය කරනවා. ආණ්ඩුවට වෙන විකල්පයක් නෑ. 


නවලිබරල් ධනවාදය ඇතුළේ සෞඛ්‍යට මොකද වෙන්නේ? රෝහල්වල බෙහෙත් නෑ. බෙහෙත් හතරක් පහක් ලිව්වම ඒකෙන් දෙකක් තුනක් පිට ෆාමසිවලින් ගන්න වෙලා. මේක තමයි ඇත්ත තත්ත්වය. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රතිපාදන වැඩිකරනවා කියලා ආණ්ඩුවේ ප‍්‍රකාශනවල ලිව්වට එහෙම වෙලා නෑ. 

මේක වහගන්න ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති ගේනවා. අපි අපේක්ෂා කළේ සේනක බිබිලේ හදපු ප‍්‍රතිපත්තිය 2014ට ගලප්පන්න. ඒවා මේකේ නෑ. මේ ගේන්න හදන්නේ ඖෂධ විකුණන්න ජාවාරම් කාරයන්ට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. විවෘත ආර්ථිකය ඇතුළේ සේනක බිබිලේට ඉඩක් නෑ. 

අපි බලධාරීන්ට කියනවා, මිනිස්සු සූරාකන, ඖෂධ විකුණන කොම්පැනිකාරයන්ගේ උවමනාව වෙනුවෙන් සකස්කරන ප‍්‍රතිපත්තිවලට ශිෂ්‍යයෝ, කම්කරුවෝ ඉඩ දෙන්නේ නෑ. 

මේ කප්පාදුව ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැලලෙමින් තිබෙනවා. හලාවතදී, කටුනායකදී, අවිස්සාවේල්ලෙදී, රතුපස්වලදී, ආණ්ඩුව පෙන්නුවේ ඒක. ඒක කරන්න ආණ්ඩුව වෙනම පොලූ බලකායක් ලෑස්තිකරලා. මර්දනය කරන්න පොලිසිය මදි, හමුදාවට දීලා. 

මේකට විරුද්ධ අරගලය අපේ තමයි අපේ අරගලය. ඒ අරගලයට රටේ වෘත්තීය සමිති ලෑස්තියි කියන පණිවිඬේ අපි දෙනවා. 

මාධ්‍යවේදී සුනිල් ජයසේකර
කැඳවුම්කරු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



අද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන නවලිබරල් ධනවාදයට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙලගැස්ම හොඳ ප‍්‍රවේශයක්. 

අද හැම ක්ෂේත‍්‍රයකම බරපතල අර්බුදයක් මතුවෙලා තියෙනවා. අධ්‍යාපන කප්පාදුව උච්චතම ස්ථානයට පත්වෙමින් තිබෙනවා. 

මාධ්‍ය ක්ෂේත‍්‍රය ගත්තම අද තරම ඛෙදනීය තත්ත්වයකට පත්වෙච්ච දිනයක් මීට පෙර පැවතිලා නෑ. අද වන විට මාධ්‍ය වේදීන්ට තමන්ගේ වෘත්තිය ප‍්‍රගුණ කරගන්න පුහුණු සැසියකට සහභාගී වීම පවා අහිමි කරලා තියෙනවා. 

අපිට සිද්දවෙලා තියෙනවා අපේ අයිතීන් ආරක්ෂා කරගන්න අරගල කරන්න. 

මේ ආණ්ඩුව නීතිය හුඹහක් කරගෙන, පාර්ලිමේන්තුව හුඹහක් කරගෙන සමස්ථ සමාජයම මිලිටරි ආධිපත්‍යයකට යටත් කරමින් සිටිනවා. 

උතුර නැගෙනහිර එලිමහන් සිර කඳවුරක්. දකුණේ බොහෝ දෙනෙක් හිතුවේ මේක උතුරට විතරක් අදාල ප‍්‍රශ්නයක් කියලා. නමුත් අද ඒ මර්දනය දකුණට යොමුවෙලා තියෙනවා. 

හෙට අනිද්දා වෙනකොට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අඩුම තරමේ හමුදා බලපෑමකින් තොරව ගෙදර නිදා සිටින්නට බැරි තත්ත්වයකට එමින් තිබෙනවා. 

වැඩකරන ජනතාව වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියල්ලෝම එක් විය යුතුව තිබෙනවා. 


සමන් ජයසේකර 
ප‍්‍රධාන ලේකම් - පරිපූරක වෛද්‍යසේවා ඒකාබද්ධ බලමණ්ඩලය


පරිපූරක වෛද්‍ය සේවය විදියට වෘත්තීන් 05ක් වෙනුවෙන් අපි මේ සභාවේ සිට ඔබව ආමන්න‍්‍රණය කරන්නේ. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට, ශිෂ්‍ය ප‍්‍රජාවට, ප‍්‍රධාන වශයෙන්ම අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අපි අපේ ප‍්‍රණාමය පුදකරන්න ඕනෙ මේ ආරම්භය සඳහා. සටන් කරන සියළුම බලවේගවලට අද ශිෂ්‍ය ව්‍යාපාරය ආදර්ශයෙන් උත්තරය සපයලා තියෙනවා. 

අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිදහස් සෞඛ්‍ය හැටියට ජනතාවට දෙන්න ඕන එව්වයින් මොනවද දෙන්නේ? රෝගියෙක් රෝහළට ගියාට පස්සේ පළමුව රෝගියා කියලා සීල් එකක් වදිනවා එයාගේ ඇඳ ඉහපත්තේ. ඒ වුණාට රෝගියාට ඇත්තටම ලැබෙන්නේ ඇඳක් විතරයි. මේ රෝගීන් සුවපත් කරන්න අවශ්‍ය පහසුකම් කෝ? අද පරීක්ෂනයක් කරගන්න රසායනාගාරයකට ගියොත් දින ගණනක් පෝලිමේ ඉන්න ඕන. එහෙම නැත්නම් තුන්ඩුවත් අරගෙන එලියට යන්න ඕන. ඖෂධයක් ගන්න ගියත් එක්කෝ මාසෙකින් දෙකකින් එන්න කියනවා, නැත්තම් ඖශධේ ඉවරයි කියනවා. විකිරණයක් ගන්න ගියත්, භෞත චිකිස්සකයක් කරන්න ගියත් ඒ ටිකමයි. මේක තමයි අද සෞඛ්‍ය සේවයේ තත්ත්වය. 

මේ ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුව කරන්නේ වෘත්තීය සමිති, වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකරන එක එහෙම කරලා ඒ ගැටලූව වෘත්තීය සමිතිවලට විසඳගන්න ඇරලා ආණ්ඩුව පැත්තකට වෙනවා. අපි ඒ වෘත්තීය සමිතිවලට කියනවා එකතු වෙන්න එකතු වුණේ නැත්නම් ජයග‍්‍රහණයක් නෑ. ඔබට හිමි තැන මෙතනයි. අද නැත්තම ඉදිරි දිනකදි හරි මෙතෙන්ට ඇවිල්ලා අසුන් ගන්න කියලා. 

වෘත්තීය සමිති අරගල කරනකොට රෝගීන්ට අසාධාරණයක් වෙනවා කියලා වාරණ නියෝග ගන්නවා. මේක තමයි ප‍්‍රගතිශීලී වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට ආණ්ඩුව දුන්න උත්තරේ. ඒ උත්තරේ ඉදිරියේදී වලංගු වෙයි කියලා මම හිතන්නේ නෑ. 

පැහැදිලිව කියන්න ඕන, සම සෞඛ්‍ය අරගලය ජයගත්තේ අපිට පාඩම් ගොඩක් කියලා දීලා. ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ට තියන නොනිමි ශක්තිය මේ රටේ ජනතාවට පෙන්නුවා. සටන දිනනකන් අත අරින්නේ නෑ කියන එක පෙන්නුවා. වෘත්තීය සමිති හැටියට අපිට එකතු වුණේ නැත්නම් ගමනක් නෑ කියන පාඩම සම සෞඛ්‍ය අරගලය අපිට කියලා දුන්නා. 

ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ මේක තමයි පාඩම. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට මේ කියලා දීලා තියෙන පාඩම අපි ගුරුකොට ගන්ඩ ඕනෑ. හෙට දවසේ මේ තියෙන මර්දනයට, එහෙම නැත්නම් මේ පීඩනයට එරෙහිව නැගී සිටින්න පුළුවන් එකම ක‍්‍රමය තමයි එකතු වීම. ඉන් බැහැර වෙන උත්තරයක් නෑ.



චමීර කොස්වත්ත
සංවිධායක ලේකම් - කම්කරු අරගල මධ්‍යස්ථානය



80 ජූලි වර්ජනයේදී කම්කරුවො පාරට ඇදලා දාලා, සටන්කරන මිනිස්සුන්ට උරුම කනත්තයි කියපු ඉතිහාසේ 81 අධ්‍යාපන ධවල පත‍්‍රිකාව පරාජය කරපු ශිෂ්‍ය ව්‍යාපාරය ඒ සටන්කාමීත්වය මේ වර්තමාන මොහොතේදීත් බොහෝ සටන් අරගල, පාවාදෙමින් දියකර හරිමින් එහෙමත් නැත්නම් එකඟතාවයට සම්මුතියට එමින් අවසන් වන මොහොතක ඒ වෙනුවට සටන් කර ජයගත හැකියි යන විශ්වාසය අපට පංතියට සමාජයට ගෙන ඒම සම්බන්ධයෙන් පළමුකොට අපේ ආචාරය. ඒ නිසා අපි පැකිලෙන්නේ නෑ, ඔබෙන් ඉගෙන ගන්න. ඔබෙන් ඉගෙන ගන්න සිදුවීම සම්බන්ධයෙන් අපට මේ රටේ වැඩකරන ජනතාවට ලැජ්ජාවකුත් නෑ. 


ඒ නිසා මේ පොද වැස්සකින් සැලෙන, සලිතවෙන, අකර්මන්‍ය වන ව්‍යාපාරයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අද මේ වේදිකාවේ මේ රටේ වැඩකරන මිනිස්සු ගොවියෝ, කම්කරුවෝ, ශිෂ්‍යයෝ, ධීවරයෝ ඒ වගේම මේ සමාජය ඇතුළේ එකඟවීම යටත්වීම වෙනුවට සටන් කිරීම තොරාගත් සියළු බලවේගවල ඒකාබද්ධ වේදිකාව මෙතන ගොඩනගලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මුල් වුණාට පුරෝගාමී වුණාට ශිෂ්‍ය ව්‍යාපාරයට අපේ ආචාරය.

දැන් මෙතන නවලිබරල් ධනවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට විරුද්ධව එකතුවෙමු කියලා අපිට එකතු වෙන්න පාර පෙන්නලා තියනවා. ධවල පත‍්‍රකාවෙන් පටන්ගත්තෙත්, අද පෞද්ගලික විශ්වවිද්‍යාල සම සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සියළු ක්ෂේත‍්‍රවල පුපුරන්නෙත් ඒ එක කතාව, එක අර්බුදය. 

මොකද්ද මේ නව ලිබරල් ධනවාදේ? ඕක වගන්තියක් කොරලා තියාගත්තොත් හරි ලේසියි. පැහැදිලිවම මේක ඇතුළේ තියෙන්නේ එකක්. මේ වගේ එටවල් ඝෝලීය ප‍්‍රග්ධනයට විවෘත කරපන් කියපු කතාව. ආයෝජනවලට එන්ඩ බහුජාතික සමාගමවලට එන්ඩ උන්ට කැමති පරිදි මේකේ සියල්ල හසුරවන්න ඉඩ දීපල්ලා කියපු කතාව. දෙවනියට මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමෙන් සුභසාධන ඉටුකිරීමෙන් ආණ්ඩුවට පිටමං වෙන්න කියලා කියපු කතාව. ඒ නිසා අධ්‍යාපනය විකිණීම, සෞඛ්‍ය විකිණීම අනෙකුත් සියළු ක්ෂේත‍්‍ර ඇතුළේ තියෙන්නේ මේ කතාව. එතකොට මේ මූලික කරුණු වලින් තමයි නවලිබරල් ධනවාදය හැදෙන්නේ. අද ඒක ගොවියාගේ ධීවරයාගේ කම්කරුවාගේ ජීවිත මතින් ගලායන්න පටන් අරගෙන තියෙන්නේ. මිනිස්සු දුහුවිලි බවට පත්කරන මිනිස් ජීවිතවල වටිණාකම අහිමි කරන, මිනිස්සුන්ගේ සියල්ල විකිණීමට, ලාභයට වෙළඳපොළට ඇදලා දාන මේ ක‍්‍රමය තමයි මේ සියළු ප‍්‍රශ්නවල මුල. මේ ක‍්‍රමය පවත්වාගෙන යන්න තමයි, විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු සියළු මර්දන අවපනත්, මරදන නීතිරීති, මර්දන ආයතන උවමනා කළේ. මේ ක‍්‍රමයට මිනිස්සු වසඟ කරගන්න තමයි, ආගම්වාදය, ජාතිවාදය ඇතුළු අනෙකුත් සියළුම දෘෂ්ඨිමය උපකරණ භාවිතා කළේ. මේකට විවෘත ආර්ථිකය කිව්වත්, මුනුෂික මුහුණුවර කිව්වත්, යළි පුබුදමු ශ‍්‍රී ලංකා කියලා ආවත්, 2011 එලියට දාපු ජාතික භෞතික සැලැස්ම කියලා ආවත් මේවා හරයෙන් එකයි. මේ සියල්ල ඇතුළේ තියෙන්නේ මිනිස්සු මිනිස් ධූවිලි බවට පත්කරලා සියල්ල වෙළඳ පොලේ දාලා විකුණන ප‍්‍රතිපත්තිය. ඒ නිසා පැහැදිලිවම ඒ ප‍්‍රතිපත්තියට අපි විරුද්ධයි. 

ඒ නිසා අතරමැද එකඟතාවයන් නෑ. අතරමැද සමාදානයන් නෑ. අතරමැද එකඟතාවලින් අතරමැද සමාදාවලින් සටන් නවත්තපු ඒ ඉතිහාසයට තිත තියමු. දැන් මේකේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විතරක් උළුප්පලා ගන්න උත්සාහ කරන හැම මහත්තයෙක්ම කරන්නේ මේ සටන මේ කතාව ඒ අතරමැද එකඟතාවයට ගෙනියන්ඩ හදන එක. ධනවාදය ඇතුළේ ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකාරයක්. මේකේ පාන් ගෙඩියක් හොරකම් කරපු මිනිහව හිරේ දානවා. සටන්කරන කම්කරුවා, ධීවරයා, ශිෂ්‍යයා හිරේ දානවා. මේක මුන්ගේ නීතිය. මේක තමන්ගේ අයිතිය ඉල්ලන මිනිහට විරුද්ධව ක‍්‍රියාත්මක වන නීතිය. නමුත් ජීවත් වෙන්න වැඩකරන මිනිහගේ ශ‍්‍රමය හොරකම් කරන එක, වගාකරන මිනිහගේ අස්වැන්න හොරකම් කරන එක, ධිවරයාගේ අස්වැන්න හොරකම් කරන එක නීතිගත කරපු සමාජයක් මේක. ඒ නිසා ලොකුම හොරකම නීතිගත කරපු සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ විකාරයක්. බොරුවක්, පට්ටපල් මුසාවක්. ඒ නිසා අපි ඉල්ලන්නේ උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙමෙයි. අපි ඉල්ලන්නේ අපට ජීවත් වෙන්න, අපේ ජීවිතය අත්පත් කරගන්න, අපෙන් උදුරගත්ත දේ නැවත දිනාගන්න සටන් කරන්න තියෙන අයිතිය. ඒ අයිතියටයි අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ උන්ගේ බම්බුවකට උන් අර්ථගන්වන එකකට නෙමෙයි. 

මේ ඉන්න එකා අන්තිම ඒකාධිපතියෙක්, ඒක ඇත්ත. ඉතිහාසයේ පහල වෙච්ච නරකම ගනයේ ඒකාධිපතියෙක් පහල වෙලා ඉන්නවා, ඒක ඇත්ත. දෙගිඩියාවක් නෑ එලවන්න ඕනෙ. හැබැයි ඒ එලවන එක එලියට දාලා තවත් නවලිබරල් ධනවාදයම ගෙනියන එකෙක් නම් වඩම්මන්න හදන්නේ, ඊට වඩා සම්මුතියක් නෑ. ඒ සම්මුතියට එන්නේ නැතුව නවලිබරල් ධනවාදය වෙනස් කරන්න සටන් කරමු අන්න එතනයි උත්තරේ තියෙන්නේ. ඒ උත්තරේට එකතුවෙමු, ඒ සඳහා ශක්තිමත් වෙමු. 

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි 
හිටපු සභාපති - විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය


මීට පෙර කරපු කතාවලට ඇහුම් කන් දුන්නම හිතෙන්නේ මේක උද්ඝෝෂණික කතාවලට වඩා මේ සමාජ ආර්ථික දේශපාලන අභියෝගය හමුවේ කළ හැක්කේ කුමක්ද යන්න සාකච්ඡුා කරන විවිධ ප‍්‍රවේශ ඒ සාකච්ඡුාවන් හරහා පැමිණුනා. ඒක ඉතාම හොඳ දෙයක්. මේක සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පත්වෙලා ඒ ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය ගිලිහීයන මොහොතක ඇතිවෙනවා වගේ තත්ත්වයක් නෙමෙයි. 

ඊට වඩා අද අපි මුහුණ දීලා තිබෙන්නේ යටත් විජිත පාලනයෙන් පසුව ලංකාව මුහුණදීලා තිබෙන ඉතාම තියුණුම දේශපාලන අර්බුදයට. මේ ආණ්ඩුව බලයට පත් වුණේ විශේෂයෙන්ම මේ රටේ සිංහල බෞද්ධ ජනයාගේ දේශපේ‍්‍රමී සම්මුතියක් හරහා. අද සිද්දවෙලා තියෙන්නේ මේ දේශපේ‍්‍රමී නමින් බෞතීස්ම කරනු ලැබූ මේ පාලන තන්ත‍්‍රයේ සම්පූර්ණ සදාචාරාත්මකභාවය විනාශ වී යාමක්. මේ රටේ කාලයක් තිස්සේ මිනිස්සු ප‍්‍රාර්ථනා කරපු ‘අපේ ආණ්ඩුව’ බලයට පත්කිරීම සඳහා දරපු උත්සාහයේ අවසාන ප‍්‍රතිඵලය තමයි මේ ඊනියා දේශපේ‍්‍රමී ආණ්ඩුව. 

මේ ඊනියා දේශපේ‍්‍රමී ආණ්ඩුවේ අර්බුදයට යාම කියලා කියන්නේ අපි දැකපු සමාජ දේශපාලන විමුක්තියේ ඉදිරි දැක්මේම අර්බුදයට යාමක් කියන එක. ඒ නිසා දැන් අපි ඉස්සරහ තියෙන්නේ නව දේශපාලන විමුක්ති මාර්ගයක් හෙලිපෙහෙලි කරගන්නේ කෙසේද කියන අර්බුදය තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ආණ්ඩුව ඡුන්දවලින් දිනනවා වුණාට සමාජය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල කලකිරීමක් තියෙනවා. 

ඒ නිසා මේක වෙනදා පැවතුණ පක්ෂ විපක්ෂ ගැටුමට වඩා වෙනස් අරගලයක්. 

සමාජයේ බිඳවැටීම විරෝධයක් බවට පත් වෙනවා. සමාජයෙන් එන මේ විරෝධය සමාජ දේශපාලන ව්‍යාපාරයක් පරිවර්ථනය කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුයි. පීඩිත ජනතාවගේ අභිලාශයන් ප‍්‍රකාශයට පත්වන සියළුම ස්ථානවලට මේ සාකච්ඡුාව රැුගෙන යා යුතුයි. 

මේ බල තන්ත‍්‍රය ඡුන්දෙකින් පෙරළුනත් නැතත් අති විශාල අරබුදයකට යාමට නියමිතයි. අද මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමී සළු පිළි අන්දන්ඩ සැදී පැහැදී හිටපු අයට අද සිද්දවෙලා තියෙනවා පහුගිය කාලේ ආණ්ඩුවේ විවේඡුකයින් ඉදිරිපත් කරපු විවේඡුනය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්න. ඒකෙන් පෙනී තිබෙන්නේ මේ ආණ්ඩුවේ සදාචාරාත්මක ශක්තිය අද වෙනකොට දුර්වල වෙමින් පවතිනවාය කියන එක. 

ඒ දුර්වලවීම සමාජ දේශපාලන පරිවර්ථනයක් දක්වා ගෙනයාමට අපට තිවුණු සමාජ දේශපාලන සාකච්ඡුාවක්. ඒ සඳහා සුදුසු පිරිස් කිහිපය අතරින් එක කොටසක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්. මම හිතනවා ඒ වගකීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සූදානම් කියලා. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුක් මෙතන සිටින පරිණත වෘත්තීය සමිති ව්‍යාපාරයත් සමඟ එකතුවෙලා ඒ පොදු ගමන යාමට ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා ධෛර්යය ප‍්‍රර්ථනා කරනවා. 

ජෝෂප් ස්ටාලින්
ලේකම් - ලංකා ගුරු සංගමය


පහුගිය කාලේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විවිධාකාර ගැටළු සම්බන්ධයෙන් විවිධාකාර උද්ඝෝෂණ තිබුණා. මේ සියළු උද්ඝෝෂණවල මූලය තමයි අද මෙතන සාකච්ඡුා වෙන්නේ. මේ මූලය තමයි මේ රජය ක‍්‍රියාත්මක කරන නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය. මේ මූලයට එරෙහි ක‍්‍රියාමාරගය කුමක් විය යුතුද යන ප‍්‍රශ්නය තමයි මේ වේදිකාවේ අද මේ සාකච්ඡුා වෙන්නේ. 

නිදහස් අධ්‍යාපනය රැුකගැනීම වෙනුවෙන් වගේම අධ්‍යාපනයට එරෙහිව යම් යම් පීඩාකාරී ක‍්‍රියාමාර්ගයන් එන සෑම අවස්ථාවකම පෙර ආවේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය. අපි දන්නවා නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනයේ සමානාත්මතාවය කියන සංකල්පය බරපතල තර්ජනයකට ලක්වෙලා තියෙනවා. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වගේම පාසල් අධ්‍යාපනයටත් මේ තත්ත්වය උදාකරමිනි තියෙන්නේ. මේ අධ්‍යාපනයේ සමානාත්මතාවය කියන සංකල්පය කොයිතරම් විශම කරලා තියනවාද කියනවා නම් ඇති නැති පාසල් බරලතල ලෙස විශම කරලා තියෙන්නේ. 

මේ රටේ පාසල් 9905ක් තියෙනවා. මෙයින් 337ක් ජනප‍්‍රිය පාසල් කරලා, එයිනුත් පාසල් හතළිස් ගානක් තමයි ජනප‍්‍රිය පාසල් බවට පත්කරලා තියෙන්නේ. මේ සමානාත්මතාව ඇති කරන්ඩ කියලා අද අපේ රටේ පාලකයෝ ද්විතීක පාසල්, හයෙන් ඉහළ පාසල් දහසකුත් ඊට සමගාමීව ප‍්‍රථමික පාසල් පන් දහසකුත් සංවර්ධනය කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ පාසල් 9905න් පාසල් 6000යි හදන්නේ ඉතිරි ටිකට වෙන දේ ගැන කව්රුත් දන්නේ නෑ. 

මේවන විට අව වරප‍්‍රසාධිත පාසල් 300ක් වහලා දාන්න මේ රජය පිඹුරුපත් සකස් කරලා අවසානයි. මේ පාසල් 1000 මාර්කට් කරලා තමයි මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන්නේ. 

මෙහෙම කරන්නේ මේ අධ්‍යාපනයේ වියදම කප්පාදු කරන්න. එහෙම කරලා පාලකයන්ට අවශ්‍ය අධ්‍යාපනයක් හදන්නයි පාලකයෝ උත්සාහ කරන්නේ. 

මේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් දුගී භාවයෙන් ඉන්නේ. ඔවුන්ගේ ජීවිත ගොඩනැගීමට ඇති එකම ක‍්‍රමය තමයි අධ්‍යාපනය. ඒ පදනම තමයි මොවුන් විනාශ කරන්නේ. මේ රටේ දුප්පත් පංතියට ඉහළට එන්න තියන ඉඩ කඩ අහුරන්නයි මේ සියළු ක‍්‍රියාමාර්ග ගෙන එන්නේ. 

මේක වලක්වාගැනීම, පරාජය කිරීම ඉදිරියේ තිබෙන් සටනක්. මේ සටන ජයගත හැක්කේ මෙවැනි එක්සත් කමකින් පමණයි. 

අපි දන්නවා අද දවසේ මේ පාසල්වල නඩත්තුව පවා දෙමාපියන් මත පටවලා තියෙන්නේ. පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ අවස්ථා 3ක් තියෙනවා. 01 වසර, 06 වසර, 12 වසර මේ අවස්ථා 03ටම චක‍්‍රලේඛ නිකුත්කරලා තියෙන්නේ. මේ සෑම අවස්ථාවකදීම මුදල් අයකිරීම් කරනවා. සාමාන්‍ය පෙළ කරපු පාසලේම උසස් පෙළ කරන්නත් මුදල් ගෙවන්න වෙලා. 

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ, පාසල්වල විදුලිබිල ගෙවන්න අපිට බෑ අපිට දෙන්න සල්ලිත් නෑ කියලා. අද පාසලකට දරුවෙක් ඇතුළ කරනකොට ඩෙස් පුටුත් දෙන්න වෙලා. පාසලේ ඉන්න මුරකරුවෝ, ලිපිකරුවෝ මේ සෑම සියළු දේටම දෙමාපියන්ට ගෙවන්න වෙලා. 

නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමේ ක‍්‍රියාවලියක් වගේම පවතින නිදහස් අධ්‍යාපනයටත් මුදල් එකතු කිරීමේ ක‍්‍රියාවලියක් අද තියෙන්නේ. එම නිසා මේක රැුක ගැනීමට නම්, විශාල අරගලයක් අපි ඉදිරියේ තියෙනවා. 

අපි දන්නවා දෙමාපියෝ සෑම සියළු තැනකම උද්ඝෝෂණය කරනවා. නමුත් මේ සියළු දේවල් සංයුක්තව එක තැනකට ගත යුතුයි. 

අද ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදිනකොට, සටන් ඒකාරාශී කරන්ඩ මේ වගේ වේදිකා හදනකොට උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන් ආමන්ත‍්‍රණය කරන්නේ නරි, බූරුවො කියලා. ඔය විදියට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරලා, ඔවුන්ට පහර දීලා, ඔවුන් යපෙත් කරන්න සූදානම් වෙනවා නම් ඔවුන් සමඟ ශක්තිමත්ව පෙරට එනවාය කියන දේ අපි අවධාරණය කරනවා. 

මේ තත්ත්වය වලක්වන්න පුළුවන් වන්නේ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයකින් පමණයි. එවැනි ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙර සිටම තබපු පියවර අද තවදුරටත් ශික්තිමත් කරන තත්ත්වයකදී, ශක්තිමත්ව ඉදිරියට යමු අපි. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ගන්නා ඕනෑම ක‍්‍රියාමාරගයකට අප සහයෝගය පලකරනවාය කියන කාරණය ප‍්‍රකාශ කරනවා. 

නජිත් ඉන්දික 
කැඳවුම්කරු - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය


ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ඉතිහාසේ හැම තීරණාත්මක සන්ධිස්ථානයකදීම වර්තමානයට වඩා අනාගතය දිහා බලලා අනාගතය නියෝජනය කරපු ව්‍යාපාරයක්.

සමාජය පුරා අරගල පැනනැගෙමින් තියෙන වෙලාවක නවලිබරල් ධනවාදයට, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි සිසුජන පෙලගැස්මක් මහපොළොව මත සජීවීව නිර්මාණය කරලා අදා ශිෂ්‍ය ව්‍යාපාරය සිද්ද කරන්නෙත් අනගතය සඳහා කරන මැදිහත් වීමක්.

2010 වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් වෙච්ච වෙලාවෙදී, දැවැන්ත බලයක් ඉතිහාසේ කාලෙකට පස්සේ ස්ථාපිත කරපු වෙලාවේ, 1977 ජයවර්ධන මහත්තයට බැරි වෙච්ච සියළුම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන්න හදපු වෙලාවේ ඊට විරුද්ධ නැගඑන සටන් මැඩපවත්වන්න දැවැන්ත මර්දනයක් ක‍්‍රියාත්මක වුණා. ඒ ඇතුළේ තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැවැන්ත මර්දනයක් ක‍්‍රියාත්මක වුණේ. 

පසුගිය වසර 04 ගත්තොත් සුවපහසු මාවතක නෙමෙයි අපි ආවේ. පසුගිය වසර 04 ඇතුළේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සහෝදරියන්ගේ සහෝදරයන්ගේ පන්ති තහනම් ප‍්‍රමාණය විතරක් 1500කට වැඩියි. සටනේ අරගලයේ නිරත වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විරුද්ධව නඩු පැවරීම් තිබුණා 414ක්, සිරගත කිරීම් 79ක්, මැර ප‍්‍රහාර සිසුන් 190කට අවස්ථා 78කදී, මරණ තර්ජන සිය ගණනක්, තුන් අවස්ථාවකදී ශිෂ්‍යයන් පැහැරගෙන ගියා අවස්ථා 03කදී අපේ ආදරනීය සහෝදරයෝ ඝාතනය කරන තැනට වත්මන් පාලකයෝ පත් වුණා. 

ශිෂ්‍ය ව්‍යාපාරයට අදාල මර්දනය මුදාහැරලා, විශ්වවිදයාල තුළ සිටින සියළුම ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ පන්ති තහනම් කරලා, උපාධිය අහිමි කරලා, විශ්වවිද්‍යාලවලින් එලියට දාලා, පාලකයෝ කිව්වා ශිෂ්‍ය ව්‍යාපාරයේ කතාව ඉවරයි කියලා. නමුත් අද වන විට ජයග‍්‍රහණ එක පිට එක සනිටුහන් කරමින් අපි පෙන්නලා තියෙනවා ඉවර වුණේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කතාව නෙමෙයි, ආණ්ඩුවේ කතාව කියලා. 

දැවැන්ත මර්දනයක් ඉස්සරහ ඔවුන් කිව්වා තවදුරටත් සටන් ක‍්‍රියාමාර්ග වලංගු වනෑ කියලා. පාලකයෝ විතරක් නෙමෙයි, පාලකයෝ කියද්දී තවදුරටත් සටන් ක‍්‍රියාමාර්ග වලංගු නෑ කියලා සමාජේ ඉන්න සටන් කරන බලවේග පවා එහෙම හිතන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පහුගිව දවස්වල සමහරු කිව්වා ශිෂ්‍ය ව්‍යාපාරය සත්‍යග‍්‍රහ, උද්ඝෝෂණවලට විතරක් සීමා කරලා තියෙන්නේ කියලා. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට අපි ලබාගෙන තිබෙන් ජයග‍්‍රහණ අපි පෙන්නලා තියෙනවා. 

2012 දී ගෙනාපු පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාද කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සටන් කරන බලවේග සමත් වෙලා තියෙනවා. අද වෙනකොට සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය සඳහා කරපු සටන ජයග‍්‍රහණයෙන් අවසන් වෙලා තියෙනවා. සටන් කරලා දිනන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. 

පාවා නොදී, ආණ්ඩුවේ පිලිකන්නට රිංගන්නේ නැතුව මුහුණට මුහුණ ලා සටන් කරලා ඒ සටන්වලින් ජයග‍්‍රහණය ලබපු ව්‍යාපාරයක් විදියට තමයි අද දවසේ නවලිබරල් ධනවාදයට සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්මක් සඳහා වූ මේ වේදිකාව නිර්මාණය කරන්නේ. 

මේ සමාජයේ සියළුම ජන කොට්ඨාශයන් විවිධ පෙරමුණුවල විවිධ තැන්වල විවිධ මට්ටමෙන් සටන් කරමින් හිටියා. සටන් කළේ නැතුව නෙමෙයි. ප‍්‍රශ්න එද්දී, පීඩාව තමන්ගේ ගෙල මිරිකන තැනට එද්දී, පීඩනයෙන් තමන්ව යටකරගෙන යද්දී ජනතාව සටන් කරන්න ආවා. නමුත් අපි හිතනවා මේ සියළුම සටන්වලට අදාවල එක මූලයක් තියෙන්නේ, එක තැනකින් එන්නේ, මේ පාලකයන්ගේ එක පැහැදිලි ප‍්‍රතිපත්තියක් හින්දා තමයි ඔබ අප සියළු දෙනා පීඩාවට පත්වෙලා ඉන්නේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ පොදු අරගලයක්. ඒ හිනදා තමයි අපි මේ මාතෘකාව යටතේ සංවිධානය වෙන්න තීරණය කළේ. 

1977 ලංකාවට අදාලව මේ නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ගෙනාවට පස්සේ 1981 පළවෙනි වතාවට දැවන්ත වශයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාලව මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන්න පටන් ගත්තා. 1981 උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ඉදිරිපත් කරමින් පාලකයන් උත්සාහ කළා එක පහරින් මේ අධ්‍යාපනයට අදාල ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කරලා ඉවර කරන්න. නමුත් ඉතිහාසයක් තිස්සේ ධෛර්යය සම්පන්නව කරපු අරගලයක් ඇතුළේ පාලකයන්ගේ ඒ වුවමනාවට ඉඩක් හම්බුණේ නෑ. ඒ විතරක් නෙමෙයි වසර 33ක් තිස්සේ අදටත් ඒ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ උත්සාහයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය විවිධ පෙරමුණුවල සටන් කරමින් ඉන්නවා. 

අදටත් ඒක ඉවර නෑ. දැන් ඒක විවිධ පෙරමුණුවලින් ඇවිල්ලා තියෙනවා. කප්පාදු කිරීම් කරමින් ඉන්නවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකරමින් උපාධි විකිණීම විතරක් නෙමෙයි, රජයේ විශ්වවිද්‍යාල තුළ උපාධි මුදලට විකුණන්න කටයුතු කරමින් තියෙනවා. එහෙම තමයි අධ්‍යාපනය මුදලට විකිණීමට අදාල මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

මේක අධ්‍යාපනය විතරක් නෙමෙයි හැම ක්ෂේත‍්‍රයක්ම වෙලාගෙන පැතිරුණා. ජනතාවගේ බොන වතුර ටික පවා විෂ කරන්න තරම් මේ පාලන ක‍්‍රමය දැන් ක‍්‍රියාත්මක වෙලා තියෙන්නේ. රතුපස්වල, වැලිවේරිය තුන්නාන හැම තැනදිම අපි දැක්කේ ඒක. සමාගම් හිමියන්ගේ ලාභය වෙනුවෙන් මුළුමනින්ම ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙන්න ඉඩ දීලා තියෙනවා. 

අද උතුරු මැද පළාත ඇතුළු මේ ගොවිජනතාව බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවල දවසකට 20 දෙනෙක් මිය යනවා මේ වකුගඩු රෝගවලින්. 

අද වන විට මුළුමනින්ම ධීවර කර්මාන්තය මැරෙන්න ඉඩ හැරලා තියෙන්නේ. වතමන් පාලකයන්ගේ ආර්ථික උපාය මාර්ගයක් වෙච්ච සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන මුළුමහත් ධීවර ප‍්‍රජාවගේම ජීවිතේ අහිමිකිරීමට අදාල ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරමින් යනවා. ඒක තමයි අපි දැක්කේ මීගමු වෙරළේ. 

මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී ඉන්න පාලකයෝ දිවිහිමියෙන් පෙනී ඉන්නේ කොහොමද? ඒක තමයි නවලිබරල් ධනවාදය කියලා කියන්නේ. ඒක තමයි නව ලිබරල් ධනවාදයේ ප‍්‍රතිඵලය.

ශිෂ්‍යයන්, ගොවියන්, කම්කරුවන්, ධීවරයින් මුහුණ දීලා ඉන්න ප‍්‍රශ්නවලට මුල මේක. ඒ නිසා ප‍්‍රශ්නය පැහැදිලියි, මේ නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ඇතුළේ සියළු දෙනාට මුහුණ දෙන්න වෙලා තියන ප‍්‍රශ්නය ගැටළුව තමයි මේක. ඒ නිසා අපිට එක්ව කරන්න සටනක් තියෙනවා. මේ නවලිබරල් ධනවාදයට එරෙහිව තැන් තැන්වල කරපු සටන් ඒකාබද්ධ කරන්න වෙලා තියෙනවා. 

දැන් මේ ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් කරනවා වගේම සටන් කරන සියළු බලවේගවලට දැවැන්ත මර්දනයක් මුදාහරිමින් සිටිනවා. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි අත්දකිමින් ඉන්නේ ඒක. කවුරුහරි සටන් කරනවා නම් එතනට එනවා පොලීසිය, උසාවි නියෝග, හමුදාව, නිල නොවන මැර ප‍්‍රහාර. අවශ්‍ය නම් ජීවිත බිල්ලට අරගෙන හරි ඒක නවත්වන්න පාලකයෝ කටයුතු කරමින් ඉන්නවා. 

ඒක කියන්නේ නිකන් නෙමෙයි, කොහෙහරි කාඹරයක් ඇතුළට වෙලා, ගෙයක් ඇතුළට වෙලා නිදාගෙන හිටියට මර්දනය එන්නේ නෑ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කතාකරන හැම දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලන්ගනය වුණේ කොහෙන්ද, කාගෙද කියලා හිතලා බලන්න. මේ මර්දනය එන්නේ මේ නවලිබරල් ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව කොහේ හෝ තැනක අරගල කළාට පස්සේ. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උතුරේ නැගෙනහිර කොහේ හරි උල්ලංගනය වෙන්නේ මේ නව ලිබරල් ධනවාදයට විරුද්ධව සටන් කළායින් පස්සේ. ඒ හින්දා මේ දෙක වෙන්කරලා ගන්න බෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශාල සටනක් ඇතිවෙමින් තිබෙනවා. මේ සටන් වෙන් කරලා ගන්න බෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරීම සම්බන්ධ ප‍්‍රශ්නයක් පැන නගින්නෙම ජනතාව මේ ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධව අරගල කරන්න යාමේදී සටන් කරන්න යාමේදී. ඒ නිසා අපි ඉස්සරහ තියෙන්නේ අරගල දෙකක් නෙමෙයි එකක්. 

ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියළු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වෙනම කතාකරන්න ලෑස්ති වෙන්න එපා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවානම් කතාකරන්න ඒකත් එක්කම එකට බැඳලා තියෙන එකට ගැටගැහිලා තියෙන මේ නවලිබරල් ප‍්‍රතිසංස්කරණ ගැනත් කතාකරන්න. 

වසර ගණනාවක් තිස්සේ වෙන් වෙන්ව සටන් කරලා, වෙන් වෙන්ව සටන් බිම්වල ඉඳලා, වෙන් වෙන්ම ඇතම් වෙලාවට සටන් ජයග‍්‍රහණයත් කරලා, වෙන්වෙන්ම මෙතෙක් දුර පැමිණි අපි, එක ගමනක් යා යුතුයි. එක වේදිකාවක හිටගන්නවා වගේම මහපොළොවේ එකට එකතු වෙළා කරන අරගලයකට එකතු විය යුතුයි.

මේ සිසු ජන පෙළගැස්ම මේ වේදිකාවකින් කෙළවර වෙන හෝ ඉතිහාසයේ සාම්ප‍්‍රදායික තවත් එක් වේදිකාවක් බවට පත්වෙන දෙයක් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි දැනටමත් කම්කරුවන්, ධීවරයන් වැඩකරන බලවේග එක්ක එකට සටන් කරලා විතරක් නෙමෙයි, ඒ සටන් ජයග‍්‍රහණය කරලත් පෙන්නලත් තියෙනවා ශිෂ්‍ය ව්‍යාපාරය විදියට, ඒ සටන් තුළ විතරයි ජයග‍්‍රහණ තියෙන්නේ කියලා. 

අපි වෘත්තීය සමිති, ගොවි සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු මේ රටේ පීඩිත ජනතාව නියෝජනව කරන මේ වේදිකාවේ සිටින නොසිටින බලවේගවලින් ශිෂ්‍ය ව්‍යාපාරය විදියට ඉල්ලා සිටිනවා, විශ්වාස කරන්න ඒ බලය ගැන, විශ්වාස කරන්න ඒ පීඩිත බලවේගවල ඒකාබද්ධ වීම හරහා ඒ සටන හරහා ලැබෙන ජයග‍්‍රහණ ගැන විශ්වාස තියන්න. වෙන වෙන දේවල් නොවෙයි, වෙන වෙන මහත්තුරු නොවෙයි, වෙන වෙන ගැලවුම්කාරයෝ නෙමෙයි, අපිට ගැලවීමක් ලැබෙන්නේ මේ ශිෂ්‍ය, ගොවි, ධීවර, කම්කරු, සියළු දෙනා ඒකාබද්ධ වෙලා පුළුල් කරමින් කරන සටනක් ඇතුළේ විතරයි. ඒ නිසා ඒ පීඩිත බලවේගයේ බලය ගැන විශ්වාස කරන්න. දැන් ඒක තහවුරු කරලා තියෙනවා, ඒක නිසා ඒ බලය ගැන විශ්වාස තියලා, වෙන වෙන තැන්වල පැටලෙන්නේ නැතුව එකට ඒකාබද්ධව මහපොළොවේ සැබෑ සිසු ජන පෙළගැස්මක් හෙට සිට නිර්මාණය කරන්න පෙළ ගැහෙන්න කියලා මේ රටේ සටන් කරන සියළු බලවේගවලින් අපි ඉල්ලා සිටිනවා. 

ඒ වගේම වාමාංශික දේශපාලන පක්ෂවලටත් අපිට දෙන්න පණිවිඩයක් තියෙනවා. දැන් මේ විදියට සටන් කරන බලවේගවල, පීඩිත ජන කොටස්වල ජයග‍්‍රහණයන් එක්ව සටන් කිරීම හරහා ලබන්න පුළුවන් කියලා තහවුරු වෙමින් තිබෙන තත්ත්වයක් තුළත් තවදුරටත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ කවර හෝ ධනපති පක්ෂයක ධනපති පන්තියේ කොටසක වලිග වෙනවා වෙනුවට, ඒක පස්සේ පෙළගැහෙනවා වෙනුවට දැන් විශ්වාස කරන්න මේ වැඩකරන ජනතාවගේ, ගොවියන්ගේ ශිෂ්‍යයන්ගේ කම්කරුවන්ගේ මේ ඒකාබද්ධ සටන ගැන. මේ ඒකාබද්ධ අරගලය ගැන විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියන ඉල්ලීම අපි කරනවා. 

අවසාන වශයෙන් මේ සටන විශ්වාස කරමු. මේ සටන ජයග‍්‍රහණය දක්වා රැුගෙන යමු. ගොවි බිම් තුළ සටන්වදිමු. කම්හල් තුළ සටන්වදිමු. සරසවි තුළ සටන්වදිමු. අපි නිරත වෙලා ඉන්න හැම ක්ෂේත‍්‍රයක් තුළ ඉඳගෙනම මේ සටන එකතු කරලා ගමු. එක්ව එක මිටකට අරගමු. ඒකාබද්ධ කරමු. සැබෑ සිසු ජන පෙළගැස්මක් ගොඩනගමු. ඒ හරහා පීඩිත ජනතාවගේ සැබෑ බලයක් නිර්මාණය කරන්න මේක ගොඩනගමු. සටන් ජයග‍්‍රහණය කරන තැන දක්වා මේක මහපොළවේ හෙට දවසේ සිට මේ පාලකයන්ට ඒකාබද්ධ වෙලා පිළිතුරක් ලබාදෙන තැනට, මේ සටන රැුගෙන යමු කියන පණිවිඩය, ඒකට අදාල විශ්වාසය තහවුරු කරමින්, ඒ සඳහා ආරාධනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට මේ ඓතිහාසික පියවර ඉදිරියට ගෙනයන්න අදාල කටයුතු තවදුරටත් ගන්නා බව සපත කරනවා.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>