හමුදා පුහුණුව තවත් සිසු ජීවිතයක් බිලිගනී. මිනීමරු ආණ්ඩුවට එරෙහි වෙමු.

ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අතරතුර සිදුවූ ආබාධයක් හේතුවෙන් තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වී ඇත. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නොච්චියාගම විදර්ශී විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත්ව ගන්නෝරුව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටියදී ළහිරු සඳරුවන් විජේරත්න නැමැති ශිෂ්‍යයෙකි.

බලහත්කාරයෙන් ශාරීරික පුහුණුවීම කරවීමේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය ජනවාරි 26 වන දින ඔහු හමුදා නිළධාරියෙක් විසින් පේරාදෙණිය රෝහලට ඇතුළත්කර තිබූ අතර පසුව අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට (IUC) ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදී ඇත. ලැබෙන විශ්වාසකටයුතු තොරතුරුවලට අනුව මොහුගේ මහා ප‍්‍රාචීරයට බරපතල ලෙස තුවාල සිදුවීම නිසා සැත්කමක් ද සිදුකිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත. ඉන් අනතුරුව මේ දක්වාම දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු අද දින(01) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙම සිසුවා කලක පටන් හර්නියා රෝගයෙන් පීඩාවිදි අයෙකු වන අතර ඒ කිසිවක් නොසලකා ඔහු බලහත්කාරයෙන් ශාරීරික ව්‍යායාම වලට යොමු කරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත . ආණ්ඩුව පවත්වාගෙන යන මෙම බලහත්කාරී හමුදා පුහුණුව හේතුවෙන් ඝාතනය වූ දෙවන ශිෂ්‍යා මොහු වන අතර බණ්ඩාරවෙල ශිෂ්‍යාවක් මීට පෙර මිය ගියාය. තවත් විශාල පිරිසක් අබාධිතවද සිටී. ඊට අමතරව විදුහල්පතිවරයකුද ඝාතනය විය. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් වන අතර ආණ්ඩුවේ මිලිටරිකරණයේ ඊළග ගොදුර විය හැක්කේ කවුද? සමාජයක් වශයෙන් අප සියලූ දෙනා මෙම තත්ත්වය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු අතර එසේ නොවන්නේ නම් ඊළග ගොදුර ඔබ හෝ ඔබගේ දරුවා විය හැකිය. ඒ නිසා මෙම මිනීමරු හමුදා පුහුණුවට එරෙහිව පෙළගැසෙන්නැයි සියලූදෙනාගෙන් ඉල්ලා සිටින අතර මෙම පුහුණුව නවතා දමන ලෙස අප ආණ්ඩුවට දැඩිලෙස බලකර සිටිමු. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>