නව ලිබරල් ධනවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පැරදවීමට මෙවැනි පුළුල් වේදිකාවක් අවශ්‍යයි- සංජීව බණ්ඩාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව,අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය හා මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය සංවිධානය මගින් සංවිධානය කර තිබූ නව ලිබරල් ධනවාදය හා  ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම සම්මන්ත්‍රනය කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදි 27 දින පැවැත්විය.
මේ අවස්ථාව සදහා වෘතීය සමිති නායකයින්, වාමාංශික පක්ෂ්‍ය, නියෝජිතයින්, සටන් කරන ව්‍යාපාර වල නායකයින්, ධීවර සංගම් , ගොවි සංගම ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

සංජීව බණ්ඩාර මහතා - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

සෑම පුරවැසියෙකුටම හෙට දවස ගැන භයානක අනතුරක් නිර්මාණය වෙලා තිබෙනවා. නව ලිබරල් ධනවාදය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පරද්දන්න මෙවැනි ව්‍යාපාරයක ඓතිහාසික අවශ්‍යතාවක් ඉස් මතු වෙලා තිබෙනවා. ඒ අවශ්‍යතාව ඉටුකරන්න තමයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වුණේ. මීට පෙරත් මෙවැනි ව්‍යාපාර ගොඩ නැගුණා. නමුත් ඒවා ගොඩනැගුනේ කිසියම් එක අවශ්‍යතාවක් වෙනුවෙන් පමණයි. එක්කෝ අධ්‍යාපන ප්‍රශ්නයට, නැත්නම් ශිෂ්‍ය මර්දනයට විරුද්ධව. නමුත් අපි තේරුම් ගෙන තිබෙනවා,හුදකලා අරගලවලට දිනන්න බැහැ කියලා. හුදකලා අරගලවලට මානව නිදහස දිනා ගන්න බැහැ. ඒ නිසා සියලු දෙනා එක මිටකට එකතු විය යුතුයි.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි නව ලිබරල් ධනවාදයට විරුද්ධව සටන් කරන්නේ කියලා. කම්කරුවාට හිතෙන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්නය මේසටන්පාඨය ඇතුළේ නැහැ කියලා. ශිෂ්‍යයාට හිතෙන්න පුළුවන් අපි සටන් කරන්න ඕන නව ලිබරල් ධනවාදයට විරුද්ධව නොවෙයි, අධ්‍යාපන ප්‍රශ්නයට විරුද්ධව, ශිෂ්‍ය මර්දනයට විරුද්ධව කියලා. නමුත් ශිෂ්‍ය නායකයින් හා දැනුවත් බහුතරය තීරණය කරලා තිබෙනවා, ඒ ප්‍රශ්නවලට විරුද්ධව විතරක් සටන්කරලා මදි, නවලිබරල් ධනවාදයට එරෙහි සටන පුළුල් කළ යුතුයිකියලා. අද ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ නව ලිබරල් ධනවාදය විදියට.

ධනපතියන්ට ලාබ ලබන්න බැරි වුණු හැම ක්ෂේත්‍රයක්ම අද ලාභ ලබන ව්‍යාපාර බවට පත්කරමින් ඉන්නවා. වෙළඳ භාණ්ඩවලින් තොරව ධනවාදයට පවතින්න බැහැ. කිසිවක් මහජන සේවා පදනමින් දෙන්න ධනවාදයට බැහැ. අපි නිදහස් අධ්‍යාපනය දෙන්න කියලා ධනවාදයෙන් ඉල්ලනවා නම්, ඒක දෙන්න බැහැ. අද සිදු වෙමින් තිබෙන්නේ, මෙතෙක් ඉතිරි වී ඇති සියල්ලත් උදුරා ගනිමින් තිබීම. අපි අනුභූතිකව තේරුම් ගනිමින් ඉන්නේ ඒක.

මේ රටේ සටන් කරනබලවේග නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු යම් යම් ක්ෂේත්‍ර නව ලිබරල් ධනවාදයට ගොදුරු වීමට ඉඩ නොදී යම් පමණකට හෝ බේරා ගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි ලෝකේ කොහේවත් සුබසාධන පදනමින් අධ්‍යාපනය දෙන්නේ නැහැ, ඒ නිසා අපේ රටේත් දෙන්න බැහැ කියලා ආණ්ඩුවට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ඒක පිලිගන්නවා. නවලිබරල් ධනවාදය ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ, අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වෙළඳ භාණ්ඩ බවට පත් කරලා. අද ඒ සම්බන්ධයෙන් ලෝකෙ පුරා විශාල සංවාදයක් තිබෙනවා. ඉන් සිදු වුණු විනාශය ගැන විශාල සංවාදයක් තිබෙනවා. නමුත් ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මය වැනි ක්ෂේත්‍ර මුළුමනින්ම විකුණන්න බැරි වුණා. අද ඒක කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ නව ලිබරල් ධනවාදයට විරුද්ධව සටන් කරන්න ඕන කියලා. අපි මුහුණ දෙන සියලුම ප්‍රශ්න තිබෙන්නේ එතැන.


වික්‍රමබාහු කරුණාරත්න මහතා - නව සමසමාජ පක්ෂය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු අධිරාජ්‍යවාදීන් අපේ රට තෝරා ගෙන තිබෙන්නේ විනෝදය සැපයීමේ තැනක් විදියට. ලෝකෙ පුරා ඉන්න සෙල්ලක්කාරයන්ට ඇවිත් නටන්න පුළුවන් රටක් හදපල්ලා කියලායි ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ. ඒ නිසා හාමුදුරුවරු කොච්චර පෙළපාලි ගියත් ඒක වෙනස් කරන්න බැහැ. බණ්ඩාරනායක මහත්තයා පංච මහා බලවේගයක් ගැන කතා කළා. අද තියෙන්නේ මත්කුඩු ජාවාරම්කාරයින්ගේ බලවේගය, සල්ලාලයන්ගේ බලවේගය, රේස්කාරයන්ගේ බලවේගය, මැරයින්ගේ බලවේගය. ඒක තමයි දැන්ක්‍රියාත්මක වෙන්නේ. මේක වෙනස් කරන්න පුලුවන් නිර්ධනීන්ට විතරයි. හෙට අපි යන පෙළපාලිවල ධනපතියන් එන්න පුළුවන්. නමුත් ඔවුන්ට මේක වෙනස් කරන්නබැහැ. ඒක කරන්න පුළුවන් නිර්ධනීන්ට විතරයි.


ජෝෂප් ස්ටාලින් මහතා - ලංකා ගුරු සංගමය

අද පාසල් ප්‍රතිව්‍යූහගත කරණය කියලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා දැනට තිබෙන පාසල් 9662 පාසල් 6000ක් දක්වා අඩු කරනවා. ප්‍රාථමික පාසල් 5000ක් හා ද්විතීක පාසල් 1000ක් ලෙස. ප්‍රාථමික පාසල්වල තිබෙන්නේ පහ ශ්‍රේණිය දක්වා පමණයි. ද්විතීක පාසල්වල තිබෙන්නේ හය ශ්‍රේණියෙන් ඉහළට. සැලසුම් සහගතව හා බලහත්කාරයෙන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ප්‍රතිව්‍යූහගතකරණය කරන්නේ පීඩිතයන්ගේ දරුවන් යනපාසල් පමණයි. අධි ඉල්ලුමක් සහිත පාසල් 35ක් සහ ඊට සමාන්තර තවත් පාසල් කිහිපයක් තිබෙනවා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඉවත්කරන්නේ නැහැ. මොකද ඒවාට යන්නේ ධනපතියන්ගේ ළමයින්.

ශ්‍රීනාත් පෙරේරා මහතා - එක්සත් සමාජවාදී පක්ෂය

පාසල් අධ්‍යාපනය භාරව ඉන්න ඇමතිවරයාත් නියෝජ්‍යඇමතිවරයාත් දෙන්නාම බිස්නස් කාරයින්. ගුරුවරුන්ගේ වැටුප් හැර අන් සියල්ලම දෙමාපියන්ගෙන් අය කර ගැනීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුව දියත්කරමින් ඉන්නවා. උසස් අධ්‍යාපනය බාර දී තිබෙන්නේ ගහලයකුට. ඊයේ ජනාධිපතිවරයා ගිහිල්ලා සණස විශ්වවිද්‍යාල ආයතනය කියලා එකක් විවෘත කළා. මොනවාද ඒකේඋගන්වන්නේ,කවුද උගන්වන්නේ, මොනවාටපාඨමාලා. කවුරුවත් දන්නේනැහැ. මේ තත්වයපරාජය කරන්න සමස්ත ජන පෙළ ගැස්මක් අවශ්‍යයි.

අරුණ රොෂාන් මහතා - සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය

අපට කිව්වේ යුද්දෙන් පස්සේ සියලු ප්‍රශ්න විසඳෙනවා. එතෙක් පටි තද කර ගන්න කියලා. දැන් මොකද වෙලා තිබෙන්නේ. යුද්ධය නිසා සිද්ධ වෙලා තිබෙන්නේ දෙමළ තරුණයින් ලක්ෂයක් විතරත් සිංහල තරුණයින් 30,000කුත් ඝාතනය වීම විතරයි.

අද නිදහස් අධ්‍යාපනයක් තිබෙනවාද? නිදහස් සෞඛ්‍යයක් තිබෙනවාද? අද ධීවරයාට මුහුද අහිමි වෙලා. විශාල නැව්වලින් ඇවිත් මාලු අල්ලනවා. අපට බලා ඉන්න වෙලා තිබෙනවා. දැන් ධීවර තරුණයින්ට කියනවා කොරියාවේ රස්සාවලට යන්නකියලා. අපේ රටේ මුහුදේ මාලු අල්ලන්නට චීනයට, ජපානයට, කොරියාවට දෙමින් තිබෙනවා. චීන නැව් දැනටමත් ලංකාවේ මුහුදේ මාලු අල්ලනවා. ඒ අතරේ මාලු සහ කරවල විහාල පරිමාණයෙන් ආනයනය කරන්න අවසර දීලා.

මේ වන විට ධීවර කර්මාන්තය විනාශ කරලා ඉවරයි. ඉතිරි ටිකත් වට්ටන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේ අරගලයට ඕනෑම සහයෝගයක් දෙන්න ධීවරයින් සූදානම්.

නලින්ද ජයතිස්ස මහතා - ජනතා විමුක්ති පෙරමුණ

වළපනේ දැරියක් ප්‍රාථමික පාසලේ සිට ද්විතීක පාසලට යන්න දාගෙන යන්න සපත්තු දෙකක් නැතිව ගෙල වැල ලාගෙන මැරුණා. රාජපක්ෂ පුතාලා දාන සපත්තුවක් රුපියල් ලක්ෂ එක හමාරයි. ඕක තමයි නව ලිබරල් ධනවාදය. මහින්ද රාජපක්ෂට අය වැයෙන් වෙන් කර ගත් මුදල බෙදලා බැලුවොත් විනාඩියකට රුපියල් 16,000යි, උපාධිධාරියකුට ලැබෙන්නේ මාසෙකට රුපියල් 10,000යි. ඕක තමයි නව ලිබරල් ධනවාදය.

සමහරු හිතනවා මේකට රාජපක්ෂ වෙනස් කළොත් හරියි කියලා. පුද්ගලයා වෙනස් කරන්න. තවත් සමහරු කියනවා, රෙජීම් එක වෙනස් කළොත් හරියි කියලා. රෙජීම් චේන්ජ් එකක්. නැහැ අපි කියනවා, සිස්ටම් චේන්ජ් එකක් ඕන. සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන.

දැන් ආණ්ඩුවේ ලොකුම මන්තරය වෙලා තියෙන්නේ විපක්ෂයක් නෑ කියන එක. ඒ අභියෝගය අපි බාරගන්න ඕන. විපක්ෂ පෙරමුණක් හදමු. ආදේශක විපක්ෂයක් වෙනුවට විකල්ප විපක්ෂයක්. ඒකේ පෙරමුණු දෙකයි. එකක් මැතිවරණ පෙරමුණ. අනෙක සටන් පෙරමුණ. අපි ජයග්‍රහණය කළ හැකි සටන් කරන්න ඕන.

සමන් රත්නප්‍රිය මහතා - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

අපේ රටේ නම තියෙන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයවත් සමාජවාදී ලක්ෂණවත් නැහැ. යහ පාලනය නැහැ. නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා. ඒ නිසා තමයි අපට එකට එකතු වෙලා අරගල කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් අරගල කරන කොට සංජීව බණ්ඩාර අධිකරණය හමුවට ගෙන යනවා. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කොට අපිව අධිකරණය හමුවට ගෙන යනවා. වැඩ වර්ජන අයිතිය ජාත්‍යන්තරව පිළිගත් අයිතියක්. ඒකත් අපේ රටේ නැහැ. මීට විරුද්ධව අපි ජාත්‍යන්තරයට ගියා, ජිනීවා ගියා. ජාත්‍යන්තරයෙන් නඩු තීන්දු අරගෙන තිබෙනවා. ඒ එකක්වත් සැලකිල්ලට ගන්නේ නැති පාලනයක් තිබෙන්නේ.

සුනිල් ජයසේකර මහතා - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අද හමුදාවට සිවිල් බලතල දී තිබෙනවා. එවැන්නක් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් විසින් ලෝකයේසිදුකර නැහැ. එසේ කර තිබෙන්නේ අන්ත ඒකාධිපතියන්පමණයි.

ඉතිහාසයේ කවදාවත්නැති තරමේ අසීමිත බලයක් ජනාධිපතිවරයා වෙත නතු කර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව අධිකරණය යටපත් කර ගෙන තිබෙනවා. එවැනි බලවත්කමක් ගොඩනගාගන්න හැකි වුණේ කොහොමද? ආණ්ඩුවේ ගමන හරියට හදුනා ගන්න බහුතර ජනතාව අසමත් වුණු නිසා. ජනතාව රටේ තත්වය දැනගන්නේ මාධ්‍යහරහා. ආණ්ඩුව පියවර කිහිපයකින් මාධ්‍ය තමන් යටතට ගත්තා. මාධ්‍ය වේදීන් පිරිසක් ඝාතනය කළා. තවත්පිරිසකගේ කකුල්, අතපයකැඩුවා. මාධ්‍ය ආයතන ගිනි තියලා විශාල භීතියක් ඇතිකළා. ඊළගට මාධ්‍ය වේදීන් විවිධ වරදාන වරප්‍රසාදවලින් තමන්ගේ අතකොළුබවටපත්කර ගත්තා. මාධ්‍ය ආයතන හිමිකරුවන් ආණ්ඩුවේ කොටස්කරුවන්බවටපත්කර ගත්තා. දැන් සියයට අනූ පහක්ම තිබෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු කරනමාධ්‍ය. ඒනිසා රටේ ඇත්ත තත්වය ජනතාව අතරට යන්නේ නැහැ.

චන්ද්‍රගුප්ත තේනුවර මහතා - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

ජර්මනියේ 1930 ගණන්වල සිදු වුණු දේවල් අපේ රටේසිදු වීමට නියමිතව තිබෙනවා. අද වෙන කොට අපි දිනාගත් සියලු දෙනා අපට අහිමි වෙමින් තිබෙනවා. යුද්ධය ඉවරයි. දැන් සුද්දය පටන් ගෙනතිබෙනවා. යුද්ධය තියෙද්දී තුනයි දශම ගණනක් තිබුණු අධ්‍යාපනයට වෙන් කරන මුදල දැන් එකයි දශම ගණනකට අඩුකරලා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තිබෙන්නේ පජාතිවාදයක්. සමාජවාදය වෙනුවට තිබෙන්නේ සමාජවධයක්. බුද්ධාලම්බන ප්‍රීතියෙන් චණ්ඩිකම් කරන රටක් මේක. නිර්වින්දනය කර තිබෙන සමාජ අවදි කරන්නේ කොහොමද කියන ගැටලුව අප හමුවේ තිබෙනවා.

පුබුදු ජයගොඩ මහතා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ඇඹිලිපිටියේ ජනතාව පොලිසියට විරුද්ධව ඊයේ උද්ගෝෂණයක් කළා. හේතුව තමයි, එකතරුණයෙක් ත්‍රී රෝද රථයක් ගෙනත්, ලීසින් වාරිකය ගෙව්වේනැතිව ඒක ගෙනයන්න ලීසින් සමාගමේ සීසර්ලා ඇවිත් තිබෙනවා. ඔවුන්ට ඒ ප්‍රදේශයේ තරුණයින් පහර දුන්නා. තරුණයින් පොලිස්නිලධාරීන්ට පහර දුන්නා කියලා පොලිසිය ඒ තරුණයින්ට පහර දී තිබෙනවා. ලීසින් සමාගම් වෙනුවෙන් වාහන උස්සන්න අද එන්නේ පොලිසිය. ප්‍රාග්ධනයට රජයේ ආරක්ෂාව තිබෙනවා. හේලීස් සමාගමට රතුපස්වලට ගිහිල්ලා එහේ වතුර වස කරන්න අයිතිය තිබෙනවා. තමන්ගේ වතුර වස කරන්න එපා කියන්න ඒ ජනතාවට අයිතියක් නෑ. ඩී.එස්.අයි. කර්මාන්ත ශාලාවට බෝගහගෙඩ ගමේ ජනතාවට පිළිකා හදන්න අයිතියක් තියෙනවා, තමන්ට පිළිකා හදන්න එපා කියලා කියන්න ඒ ජනතාවට අයිතියක් නෑ. ඒ නිසා තමයි ව්‍යවස්ථාවේම තියෙන රැස්වීමේ, අදහස් පළ කිරීමේ නිදහස සංජීව බණ්ඩාර සහෝදරයාට නෑ කියලා අධිකරණයම කියන්නේ.

ඊළඟට ජනාධිපතිවරයා බාලිකා විදුහලක රැස්වීමකට ගිහින් කියනවා, ෆේස්බුක් එකේ යාලුවන් ආශ්‍රය කරන්න එපා කියලා. අපිත් ඒක කියනවා. ෆේස් බුක් එකේ ඉන්නේ ව්‍යාජ යාලුවන්. සැබෑ යාලුකම කියන්නේ හමුවෙලා කන බොන එක, එකට ට්‍රිප් යන එක. උදව්කර ගන්නා එක. නමුත් ජනාධිපතිවරයා කියන්නේ ෆේස්බුක් එකේ යාලුවන් ආහ්‍රය කරන්න එපා, හොඳම යාලුවා අම්මා, ඒ නිසා අම්මා ආශ්‍රය කරන්න කියලා. මේ කියන්නේ සමාජ ජීවිතයෙන් ඈත් වෙලා පවුල් ජීවිතයට පහු බහින්න කියලා. විශ්වවිද්‍යාල සිසුන් ඒක නොකරනනිසා තමයි මර්දනය ගෙන එන්නේ.

චෝගම් එක තිබුණු කාලේ තරුණයින් දේශපාලනයට ගේන්න ලොකු මෙහෙයුමක් ගියා. තරුණසමුළු තිබුණා, තරුණපාර්ලිමේන්තු තිබුණා. තරුණයින් සක්‍රියව දේශපාලනය කරන තැන තමයි විශ්වවිද්‍යාලය. නමුත් විශ්වවිද්‍යාලයේ දේශපාලනය කරන්න තිබෙන නිදහස ගැන මම උදාහරණ දෙන්න අවශ්‍ය නැහැ. මේ කියන දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන්නේ නාමල්ලාට. ජපුර ශිෂ්‍යයින්ට ඒ අයිතිය නැහැ. ආණ්ඩුවේ මර්දනයත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයත් දෙකම දේශපාලනිකයි. ඒ නිසා අපි හිතනවා උත්තරයත් දේශපාලනිකයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>