පහවසර ශිෂ්‍යත්වය ඉවරයි! දැන් හරිද?

IUSF
පහවසර ශිෂ්‍යත්ව විභාගය ආහෝසිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. සැලසුම වී ඇත්තේ එම තීරණය 2016 සිට ක‍්‍රියාත්මක කිරීමයි. මෙම තීරණය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝදෙනෙකුගේ මෙන්ම රටේ බහුතරයක් දෙමව්පියන්ගේ දැඩි කෝපයට හා විරෝධයටද තවත් පිරිසකගේ ප‍්‍රශංසාවටද හේතුපාදක වී ඇති බව පෙනේ.

මෙම තීරණය ගැනීමේ දී ඒ සඳහා වන තාර්කික පදනමක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ බලධාරීන්ට තිබුණේද යන්න ගැටලූ සහගත වුවත් මෙම තීරණය සාධාරණීකරණය කරගැනීම සඳහා හේතු සාධක ඇතිපදම් ඉදිරිපත් කළ හැකිබව අප පිළිගත යුතුය. මන්දයත් පසුගිය කාලය තුළ පහවසර ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධව ඉතාමත් අනුවේදනීය පුවත් දිගින් දිගටම වාර්ථාවීම තුළ එය පැහැදිළිවේ. මෙම විභාගය විසින් ඇති කරන ලද තරඟකාරීත්වය හා පීඩනය ශිෂ්‍යයින් ජීවමාන අධ්‍යාපනයෙන් ඈත්කළා පමණක් නොව ඔවුට සිය ජීවිතයේ බොහෝ දේ අහිමිකිරීමට තරම් ප‍්‍රබල විය. මේ නිසා සෞන්දාර්ය, කලාව, ක‍්‍රීඩාව වැනි ළමාවිය සංවර්ධනයේදී අත්‍යාවශ්‍ය යැයි ලෝකය පිළිගත් විෂයන්ගෙන්ද, සමාජයේ සක‍්‍රීය කොටස්කාරයකු වශයෙන් ජීවිතය පටන්ගැනීමේ දී අත්දැකීම් ලැබිය යුතු අනිවාර්ය සමාජ සම්බන්ධකම්වලින් ද ඔවුහු පිටුවහල් කරනු ලැබිණ. දෙමව්පියන්ගේ ආදරණීය හිරකරුවන් වශයෙන් කාමරවලට කොටුව අකමැත්තෙන් කටපාඩම් කිරීමට සිසුන්ට සිදුවිය. අවසානයේ මෙම විභාගය සිසුන්ගේ නොව දෙමව්පියවන්ගේ විභාගයක් බවට පත්වූ අතර විභාගය අසමත්වීම නිසා දරුවන් නිවසින් පිටුවහල් කරන අමානුෂික අන්තයක් කරා දෙමාපියෝ තල්ලූ වූහ. මෑතක සිට මෙවැනි අනුවේදනීය සිදුවීම් සාමාන්‍ය දේ බවට පත්ව ඇත.



ඒ නිසා පාලකයන්ට මෙම විභාගය අහෝසිකිරීමට ඇති පදනම් සාධාරණ හේතු තිබේ. නමුත් ගැටළුව වන්නේ විභාගය අහෝසිකිරීමෙන් මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලැබේද යන්නයි. පහවර ශිෂ්‍යත්වය යනු අහසින් කඩාපාත්වූවක් නොව එක්යුගයක බලධාරීන් විසින්ම හදුන්වාදෙන ලද්දකි. ඒ මොහොතේ ඔවුන් එහි අරමුණ ලෙස පෙන්වා දුන්නේ පාසල් ක්‍ෂෙත‍්‍රයේ විෂමතාවය තුළ ග‍්‍රාමීය හා දුප්පත් දරුවන්ට යම් හෝ සාධාරණයක් ඉටු කිරීමයි. නමුත් එය කිසිසේත්ම පාසල් පද්ධතියේ විෂමතාවය පිළිබඳ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස පිළිගත නොහැකි අතර එය විසඳුමක් නොවූබවද මේවන විට ඔප්පුවී ඇත. එම තීරණය එම නිෂ්චිත මොහොතට අදාලව හෝ නිවරදිවීමට ඉඩ තිබුණේ ක‍්‍රමිකව පාසල් අතර විෂමතාවය අවම කරන හා සමබර පාසල් පද්ධතියක් සඳහාවන සංවර්ධන වැඩපිළිවෙලක් පැවතියේ නම් පමණි. නමුත් එය එසේ සිදු නොවූවා පමණක් නොව ඉන්අනතුරුව ගෙන ආ සෑම සංවරර්ධන ව්‍යාපෘතියක්ම පාසල් අතර විෂමතාවය තීව‍්‍ර කළේය. ජනප‍්‍රිය හා ජනප‍්‍රියනොවන ආදී වශයෙන් වරප‍්‍රසාදිත හා අවවරප‍්‍රසාදිත කඳවුරු දෙකක් පාසල් පද්ධතිය තුළ වර්ධනය වී තිබේ. සෑම ආණ්ඩුවකදීම පාලකයෝ සිදුකළේ සිය නම ඉතිහාසයට එකතු කරගැනීමේ අරමුණින් හා සන්දර්ශනවාදී අරුතින් තෝරාගත් පාසල් කිහිපයක් සඳහා පහසුකම් ලබාදීමයි. ජාතික පාසල්, නවොද්‍යා පාසල්, පොකුරු පාසල්, ඉසුරුපාසල් හා සපිරි පාසල් නම්න් හඳුන්වනු ලබන්නේ එකී ව්‍යාපෘතීන්ය. එසේම පාසල් නඩත්තුව රජයෙන් දෙමව්පියන් හා ආදී ශිෂ්‍ය සංගම් වෙත විතැන් කිරීමේ ප‍්‍රතිඵයක් වශයෙන්ද තවදුරටත් මෙම විෂමතාවය තීව‍්‍ර විය. අන්තිමේ පහසුකම් සහිත හා ජනප‍්‍රිය යැයි සම්මත අධිඉල්ලූමක් සහිත පාසල් කිහිපයක්ද අත්‍යාවශ්‍ය පහසුකම් පවා නොමැති කිසිවකුත් ඇතුළුවීමට අකමැති පාසල් පද්ධතියක්ද ශේෂවිය.

සෑම දෙමව්පියෙකුගේම සිහිනය තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වන අතර ඒ සඳහා හොඳ (ජනප‍්‍රිය) පාසලකට තම දරුවා ඇතුළත් කරගැනීම එකම අභිප‍්‍රාය බවට පත්විය. මේ හොඳ නරක පිළිබඳ අදහස් වෙළදපොළ විසින් නිර්මාණය කරන ලද අදහස් වන අතර ඒවා නිර්මාණය කළෝද පාලකයෝමය. ඒ නිසා මෙය දෙමව්පියන්ගේ පිස්සුවක් ලෙස කරන චෝදනාව සාධාරණනොවන නමුත් දෙමව්පියන්ද මේ පිළිබඳව නැවත සිතාබැලිය යුතුය. අවසානයේ දෙමව්පියන්ට ඉතිරිවූ එකම විකල්පය වූයේ පහ වසර ශිෂ්‍යත්වයයි. පළමු ශ්‍රේණියේදීම හොඳ පාසලකට සිය දරුවා ඇතුළත්කර ගැනීමට සමත් වන්නේ රටේ වරප‍්‍රසාදිත දෙමව්පියන් සීමිත පිරිසක් පමණි. අනෙක් සෑම දෙමව්පියෙක්ම මඟ හැරුණු සිහනය හැබෑකරගැනීමට පහ වසර ශිෂ්‍යත්වය යොදාගනිති. එහෙත් අවාසනාව වන්නේ මෙයින්ද අවස්ථාව ලැබෙනුයේ ඉතාමත් සීමිත පිරිසකට බව ඔවුන් නොදැනසිටීමයි. ඒ අනුව සිය දරුවා මේ තරඟයට සූදානම් කිරීමට පළමු වසරේ සිටම ඔවුහු වෙහෙසෙති. එහි ප‍්‍රතිඵලය අසීමිත තරඟයක් මෙම විභාගය වටා නිර්මාණ වීමයි. ඒ සඳහා තරඟකරුවන් ලක්ෂගණනක් සිටීමත් අවස්ාථා දහසකටත් අඩු ගණනක් පැවතීමත් හේතුවී ඇත. ප‍්‍රශ්නය විභාගය බව තේරුම් ගැනීම මුග්ධකමකි. එසේම තවතවත් අර්බුධය උග‍්‍රකිරීමකි. කළයුත්තේ අවස්ථා වැඩිකිරීම හා සෑම ශිෂ්‍යකුටම සමාන පහසුකම් සහිත පාසලක් ලබාදිය හැකි සේ පාසල් සංවර්ධනය කිරීමයි. නොඑසේව ශිෂ්‍යත්ව විභාගය අහෝසිකළ පමණින් පීඩාව අහෝසි නොවේ. සිදුවන්නේ යම් හෝ ශිෂ්‍යයකුට තිබූ අවස්ථාවද අහිමි කිරීම හා ඇත්ත ප‍්‍රශ්නය මුළුමනින්ම අමතක කිරීමයි. දැනටමත් එය සිදුවී ඇති අතර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව මිස විෂමතාවය පිළිබඳ කිසිවකුත් කතා නොකිරීමෙන්ද ඒ බව පැහැදිළිව පෙනේ. සිදුකොට ඇත්තේ ප‍්‍රශ්නය විසඳීම නොව ප‍්‍රශ්නයට මීට පෙර ඉදිරිපත්කළ විසඳුම ඉවත්කිරීම පමණි.

එසේම අප අමතක කරන කරුණක් වන්නේ පීඩාවක් වී ඇත්තේ පහවසර ශිෂ්‍යත්ව විභාගය පමණක්ද යන්නයි. නැත. සෑම විභාගයක්ම අද සිසුන්ටද දෙමව්පියන්ටද ඉමහත් පීඩාවකි. එයට හේතුව ටියුෂන්, දෙමව්පියන්ගේ සිතුම් පැතුම් හෝ බලධාරීන් කියන අන්කිසිවක් නොවේ. අධ්‍යාපන අවස්ථා සීමිත වීම හා තවදුරටත් කප්පාදු කිරීමයි. ආණ්ඩුව ප‍්‍රශ්නයට හේතුයැයි ඉදිරිපත්කරන ටියුෂන්, දෙමාපියන්ගේ සිතීම් ආදියටද විෂය මූලිකවී ඇත්තේ අපි කියන ප‍්‍රශ්නයයි. එය උසස් පෙළ විභාගයේදී මැනවින් අවබෝධවේ. විශ්වවිද්‍යාල පුළුල් නොවීම නිසා සරසවි ප‍්‍රවේශ හිමිවනුයේ උසස් පෙළ සමත් සීමිත පිරිසකට පමණි. ඒ නිසා තරඟය උග‍්‍රවී ඇති අතර අද වන විට ‘‘ඒ’’ සාමාර්ථ තුනක් ගත්තද සිසුවකුට සරසවියාම පහසු නැත. උසස් පෙළ තරඟය උග‍්‍රවීමට හේතුව ටියුෂන් හෝ උසස් අධ්‍යාපනය ලැබීමේ උනන්දුව ඉහළයෑම යැයි කිසිවකු කියන්නේ නම් එය නොතේරෙන කම හෝ මුග්ධකම මිස අන්යමක් නොවේ. උසස් අධ්‍යාපනයට අදාලව සෑම සිසුවෙක්ටම සමාන අවස්ථා හිමිවේනම් මේ තරඟයට ඉඩක් නැත.

ඒ නිසා පහවසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ප‍්‍රශ්නය අප තේරුම්ගත යුත්තේ ඒ අර්ථයෙන් වන අතර මෙම තීරණය නිවැරදි යැයි කීමද, නැවත එම විභාගය ඉල්ලා විලාප නැගීමද අර්ථ ශූන්‍ය වේ. ආණ්ඩවේ මෙම තීරණය අනුමත නොකළ යුතු අතර එයට අප විරෝධය පෑමට පසුබට නොවිය යුතුය. එසේම තිබෙන සීමිත අවස්ථා ගණන වෙනුවෙන් පොරකන හා දරුවන් මරවන තරඟ විභාගයක් වෙනුවට සෑම දරුවෙක්ටම සමාන පහසුකම් සහිත පාසලක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බලකළ යුතුය. ඒ සඳහා අප රටක් සමාජයක් ලෙස නැගී සිටිය යුතු අතර එම අරගලය අධ්‍යාපනය තුළ සමාන අවස්ථා දිනාගැනීමේ අරගලයක් විය යුතු බව අපගේ අදහසයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>