ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - සංජීව චෝදනා කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

ප්‍රශ්නය - පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව මොහොතේ රජය ශිෂ්‍යයන්ට ලබාදුන් නිවාඩුවට ඔබ වෙනත් අර්ථකථනයක්‌ සපයනවා. අපි එතැනින් පටන් ගමු.

පිළිතුර - චොගම්වලින් රටට හෝ ජනතාවට ලැබුණු දෙයක්‌ නෑ. මේ සමුළුව ආණ්‌ඩුව පවත්වන්නේ කාරනා දෙකක්‌ උඩ. පළමුවැන්න ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම, දෙවැන්න තමන්ගේ බල ව්‍යාප්තිය අනුව මේ රටේ ජනතාව මුළා කරලා තවදුරටත් ආණ්‌ඩුවත් එක්‌ක පවත්වාගෙන යන එක. ඒ නිසාම මේක පැවැත්වූයේ සංදර්ශන දෘෂ්ටි කෝණයෙන්. මේක දේශපාලන අර්ථයකින් පැවැත්වූවා නම් කමක්‌ නෑ. නමුත් ඒක එහෙම වුණේ නෑ.

විශ්වවිද්‍යාල සතියකට වැහුවා. පාසල් 34 ක්‌ සතියකට වැඩි කාලයක්‌ වැහුවා. මාසයකට වැඩි කාලයක්‌ බොහෝ පාසල්වල ඉගෙනීමේ කටයුතුවලට වඩා කළේ සංදර්ශන වැඩවලට පුහුණුවීම්. අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ වගේ වැඩකට නැති වැඩක්‌ වෙනුවෙන් රටක අධ්‍යාපනය දෙවැනි තැනට දැම්මේ ඇයි? කියන එක. රටක සංවර්ධනය දියුණුව පවතිනවා නම් රටේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන්න ඕන. මේක ෙ€දවාචකයක්‌. මේක බරපතළ අපරාධයක්‌ හැටියටයි අපි දකින්නේ.

ප්‍රශ්නය - චොගම් පවත්වපු මේ කාලය තුළ කොළඹදී සිසු සහභාගිත්වයෙන් විශාල උද්ඝෝෂණ කරන්න, විශ්වවිද්‍යාල ආචාර්යවරු උද්ඝෝෂණයක්‌ කරන්න හිටිය බව ආරංචි වුණා.....

පිළිතුර - අපිට චොගම් එකට පෙර මෙන්ම ඒ අතරවාරයෙත් උද්ඝෝෂණ පවත්වන්න සිද්ධ වුණා. එහෙම වුණේ, ආණ්‌ඩුවේ වරද නිසයි. අපිව එතැනට ඇදලා දැම්මේ ආණ්‌ඩුව. විශ්වවිද්‍යාල වහලා මේ රටේ අධ්‍යාපන වෙළෙඳ කලාප ආරම්භ කරන්න සැලසුම් කළා. එය ක්‍රියාත්මක වීම කියන්නේ මේ රටේ සුවහසක්‌ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්‌ථාව උදුරාගන්න එක. ධනපති අතලොස්‌සකගේ වරප්‍රසාද වෙනුවෙන් අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක්‌ කරලා. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළත් මේ රටේ ධනපතියන්ට මංකොල්ල කන්න ඉඩ ප්‍රස්‌ථාව සාදන එකයි මේ කරන්නේ. ඒකට විරුද්ධවයි අපි උද්ඝෝෂණය කරන්නේ.

ආණ්‌ඩුව සැලසුම් කරලා තිබුණේ චාල්ස්‌ කුමාරයා අතින් අධ්‍යාපනය විකුණන්න. වෙළෙඳ කලාප හයක්‌ ආරම්භ කරන්න. එහි පළමු වෙළෙඳ කලාපය ඔහු අතින් මීරිගමදී ආරම්භ කරන්නයි සැලසුම තිබුණේ. ඒකට විරුද්ධව තමයි උද්ඝෝෂණ පෙළ ගැසෙන්නේ. විවිධ සමාජ කොටස්‌, බහුජන සන්ධාන තුළ මේකට එරෙහිව විරෝධයක්‌ පෙළ ගැසුනා. ඒක වළක්‌වලා තමන්ගේ අරමුණ ඉටු කරන්න තමයි විශ්වවිද්‍යාල වැහුවේ.

ප්‍රශ්නය - මීරිගමදී ආරම්භ කරන විශ්වවිද්‍යාල නිසා රටට විශාල ආයෝජකයන් පිරිසක්‌ එනවා. එසේම, රටින් පිටට ඇදුන විශාල මුදල් ප්‍රමාණයක්‌ ඉතිරි වුණ බව කියෑවෙනවා. එහෙම තිබියදී මේ විරෝධතා කොතරම් සාධාරණද?

පිළිතුර - එස්‌. බී. ඇමැතිවරයාට උසස්‌ අධ්‍යාපනය ගැන කතා කරන්න කිසිම සුදුසුකමක්‌ නෑ. එහෙම තියෙනව නම් මේ වගේ පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරන්නේ නෑ. මේ වෙළෙඳ කලාප ආරම්භ කළා කියලා ලංකාවේ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වෙන්නේ නෑ. මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළා කියලා ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රයට අදාළව උසස්‌ අධ්‍යාපන අවස්‌ථා වැඩිවුණාද? නෑ.... මොකද ලක්‍ෂ හැටපහක්‌ ගෙවන්න පුළුවන් අයට විතරයි මාලබේට යන්න පුළුවන්. ඒ විතරක්‌ නොවෙයි, මේ අය කියනවා රටේ අධ්‍යාපනය ගුණාත්මකව, ධනාත්මකව වර්ධනය වෙනවා කියලා.... ඇත්ත කතාව තමයි මේ වගේ zමාර්කට්‌Z දැම්මට අධ්‍යාපනය දියුණු වෙන්නේ නෑ. ලාභය ප්‍රමුඛ වුණාට පස්‌සේ ප්‍රමිතීන් ආරක්‍ෂා වෙන්නේ නෑ. ගුණාත්මක බව ආරක්‍ෂා කරන්න බෑ.

උදාහරණයක්‌ හැටියට නිෂ්පාදනයේ අරමුණ ලාභය නම්, නිෂ්පාදනයේ සිදුවන පාරිසරික හෝ සමාජයීය හානි ගැන නිෂ්පාදකයාට අදාළ නෑ. රතුපස්‌වල සිද්ධ වෙන්නේ ඒක.... ඒ කර්මාන්ත ශාලා හිමිකරුවන්ට අදාළ නෑ තමන්ගේ ලාභය හැරුණු විට නිෂ්පාදනයෙන් බැහැර කරන අපද්‍රව්‍ය නිසා සමාජයට සිද්ධවෙන හානිය.

දැන් රජරට වකුගඩු ප්‍රශ්නයත් එහෙමයි. කෘෂි රසායනවලින් වන හානියට වඩා ප්‍රබලයි ලාභය. එතකොට අදාළ සමාගම් වැඩි වැඩියෙන් පලිබෝධ නාශක නිර්මාණය කරනවා. එතකොට වෙන්නේ තියෙන වතුර ටිකත් වහ කරලා තියෙනවා මේ ධනපතියන්ගේ ලාභය වෙනුවෙන්. ඒ වතුර බොන මිනිස්‌සු අවුරුදු 20 - 30 න් මැරිලා යනවා.

ප්‍රශ්නය - දැන් අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කොච්චර උද්ඝෝෂණ දියත් කළත් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව නිශ්චිත ඉලක්‌කයන් සපුරාගන්න ඔබට හැකියාව ලැබුණේ නෑ. කලකට ඉහත රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා තරමේ විරෝධතාවක්‌ දියත් කළා. මේ ප්‍රතිඵල රහිත ඉරණම මීරිගමටත් පොදු එකක්‌ වෙයිද?

පිළිතුර - අපි හිතනවා අධ්‍යාපනය විකුණනවා කියන එක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය කියලා. ඒක ආණ්‌ඩුවේ විතරක්‌ නොවෙයි රාජ්‍යයේම ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි ආණ්‌ඩු මාරු වුණාට මේක වෙනස්‌ වෙන්නේ නැත්තේ.

මේක ලෝක පරිමාණයෙන් ගත්තොත් නව ලිබරල් ධනවාදයේ අවශ්‍යතාවක්‌. එය පරද්දන්නටයි අපි සටන් කරන්නේ. ඇත්තටම ඒක සරල නෑ. ඒක ලේසි නෑ. ආණ්‌ඩුව ඉන්නේ හොඳින් හරි නරකින් හරි අධ්‍යාපනය විකුණන ෙච්තනාවෙන්. ඒකට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදවලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මත හදන්න, සියලු දේ යොදනවා. 

අපි විශ්වාස කරනවා අපි කිහිපදෙනෙක්‌ නියෑළී ඉන්න අරගලයකින් මේක පරද්දන්න බෑ. මේක පරද්දන්න නම් මුළු මහත් සමාජයක්‌ ලෙස නැගී සිටිය යුතුයි. සියලු බලවේග ඒ සඳහා ඒකරාශි විය යුතුයි. ඒ නිසා තමයි අපි සටන් කරන්නේ.

දැන් ඔබලා ඔය කිව්ව රාගම වෛද්‍ය විද්‍යාලයේ සටන වසර ගණනාවක්‌ දිගටම ගියා, 81 පටන් ගත්ත සටන ජයග්‍රහණය කරන්නේ 89 දී. ඒකත් එක්‌ක විශාල සමාජ මැදිහත්වීමක්‌ ආවා. එවැනි සමාජ මැදිහත්වීමක්‌ සඳහා නායකත්වය දිය යුතුයි. ඒ සඳහා අපි හිතනවා අපිට කළ යුතු දෙයක්‌ තියෙනවා කියලා. ගොවි, කම්කරු, ධීවර සකල විධ පීඩිත බලවේග මේ අරගලය වටා ඒකරාශි කරගත යුතුයි.

ප්‍රශ්නය - මේ වෙනකොට ඔබ කියන මීරිගම අධ්‍යාපන වෙළෙඳ කලාපය ආරම්භ කර තිබෙනවා. මොකක්‌ද ඊට එරෙහිව ගෙන යන සටනේ ස්‌වභාවය.

පිළිතුර - මේක ආණ්‌ඩුවේ සැලසුමට අනුව චාල්ස්‌ අතින් විවෘත කරගන්න බැරිවුණා. ඇත්තටම ආණ්‌ඩුව ඒ විදියට ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඇතුළට පසුබැස්‌සේ ශිෂ්‍යයන්ගේ විරෝධය නිසයි. අපි හිතනවා ඒක අපි ලබපු ජයග්‍රහණයක්‌ කියලා. එතකොට අපි මේ අරගලයේ පළමු පියවර තියලා තියෙන්නේ. ආණ්‌ඩුවත් මෙතැනදී පසු බහින්නේ නෑ. ආණ්‌ඩුවත් මේක කරන්න උත්සාහ කරයි, අපිත් ඒක කරන්න දෙන්නේ නෑ කියන ස්‌ථාවරයේ ඉන්නවා. අපි මොන මර්දනය ක්‍රියාත්මක වුණත් මේකට එරෙහිව සටන් කරනවා. අපි කියන්නේ ඒක ආරම්භ කරන්න, අපි සූදානම් ඒකට මුහුණ දෙන්න කියලා විතරයි. අපි ඒක පරද්දන සටනට අතගහලා තියෙනවා. අපි ජනතාව දැනුවත් කරන්න ගෙයින් ගෙට යනවා. ඉදිරියේදී අපි ගමක්‌ ගමක්‌, නගරයක්‌ නගරයක්‌ ගානේ මේකට එරෙහිව උද්ඝෝෂණය කරනවා. නිදහස්‌ අධ්‍යාපනය දිනා ගැනීමේදී කිසිදු පැරණි දේශපාලනඥයෙක්‌ ඒ වෙනුවෙන් පෙනී හිටියේ නෑ. ඒක සම්මත කරගත්තේ, මේ රටේ ප්‍රගතිශීලී ජනතාව රට තුළ ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක්‌ හැටියටයි. ඒකට මුළු සමාජයම පෙළ ගැසුනා. අපි හිතනවා යළිත් නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් යමක්‌ ඉතුරු වෙලා නෑ. මේක රොඩ්ඩක්‌ බවට පත්වෙලා ඉවරයි. දැන් අපට නැවත සිද්ධවෙලා තියෙනවා ඒ නිදහස්‌ අධ්‍යාපනය දිනාගන්න සටන් කරන්න. ඒකට පුළුල් සමාජයීය මැදිහත්වීමක්‌ අවශ්‍යයි. ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්.

ප්‍රශ්නය - ඔබ නිදහස්‌ අධ්‍යාපනය ගැන දිගින් දිගටම සඳහන් කරා. ඔබ නියෝජනය කරන ප්‍රතිපත්ති මතවාද සහිතව ඔබේ දේශපාලන ආගමනය සිද්ධවෙන ජවිපෙ ප්‍රකාශ කරනවා, දැන් නිදහස්‌ අධ්‍යාපනය කියන සටන් පාඨය වෙනුවට, ජනතාව ඉල්ලන "දරුවාට හොඳ ඉස්‌කෝලයක්‌" කියන සංකල්පය, සටන් පාඨයක්‌ ලෙස ඉදිරියට ගත යුතුයි කියලා. මේක ඔය කියන කාරණා සමඟ ගළපාගන්නේ කොහොමද?

පිළිතුර - අපි හිතනවා සටන්පාඨ වෙනස්‌විය යුතුයි. අපි බොහෝ දේ එවැනි වෙනස්‌කම්වලට බඳුන් කරලා තියෙනවා. අපි මුලින් සටන් කළේ "නිදහස්‌ අධ්‍යාපනය රැකගනිමු" කියන සටන් පාඨය යටතේ. අපි ඒක වෙනස්‌ කරලා තියෙනවා "නිදහස්‌ අධ්‍යාපනය දිනාගැනීම" කියලා. ඇත්තටම අද අපිට සිද්ධවෙලා තියෙනවා සමාජයක්‌ විදිහට ඒ නිදහස්‌ අධ්‍යාපනය දිනාගැනීමට නැවත සටන් වදින්න.

ඒ අධ්‍යාපනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස්‌ අධ්‍යාපනයක්‌ බවට පෙරළ ගන්න. මේකට අපි නායකත්වය දෙනවා. ජනතාව ඉල්ලන සටන් පාඨ මොනවද? දැන් දරුවාට හොඳ පාසලක්‌ කියන්නේ මොකක්‌ද? ජනප්‍රිය පාසලක්‌ කියන එකයි. එතකොට ජනප්‍රිය පාසලක්‌ ගන්නනම් වැඩියෙන් අපිට ගෙවන්න වෙනවා. එහෙම ගෙවන "හොඳ පාසලක්‌" තමයි ජනතාව ඉල්ලන්නේ. එහෙම පාසලක්‌ ලබාගන්න පුළුවන්කමක්‌ නෑ. මේ රටේ බහුතරයක්‌ මවුපියන්ට අධ්‍යාපනය වෙනුවෙන් වැඩි බරක්‌ දරන්න බෑ. ගෙවන්න බෑ.

මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය යටතේ ශිෂ්‍යයාට තමන්ගේ තරුණ ජීවිතය ඒ විදියට විඳින්න හිතන්න අවස්‌ථාව අහිමි කරලා තිබෙනවා. උදාහරණයක්‌ විදිහට කිව්වොත් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලින් එළියට එන්නේ, හුදකලා චරිතයක්‌ වෙලා.

අනික්‌ කාරණය තමයි මේ අයගෙන් තර්කයක්‌ ගේනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළාම ලෝකයේ නව දැනුම ලංකාවට ගලා එනවා කියන එක, අපි අහන්නේ මේ "නව දැනුම" කියන එක ලෝකයේ කොහේ හරි විශ්වවිද්‍යාලයක නිෂ්පාදනය කරන දෙයක්‌ද? මේ කතාව හරිම ග්‍රාම්‍යයයි. විශ්වවිද්‍යාලයක අරමුණ වෙන්නට ඕන නව දැනුම සහිත පුද්ගලයන්, නිර්මාණශීලී පුද්ගලයන් බිහිකිරීම තමයි. නමුත් දැන් කරන්නේ එවැනි දැනුමක්‌ සහිත පරපුරක්‌ බිහිකරනවා වෙනුවට ඉසෙඩ් ස්‌කෝර් ක්‍රමයක්‌ අල්ලාගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය වරම් ලැබීම කප්පාදු කරන එකයි.

මේ වෙනකොට ඒ තුනක්‌ ගන්න ශිෂ්‍යයෙකුටවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරිවෙලා තියෙනවා. අපේ සටන මෙන්න මේ අයිතීන් දිනාගන්නයි.

සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර, උදේශ සංජීව ගමගේ

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>