ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - එස්‌ බී පැහැදිලි කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

ප්‍රශ්නය - මීරිගම ආරම්භ කරන්න නියමිතව තිබූ පෞද්ගලික විශ්වවිද්‍යාලය චාල්ස්‌ කුමාරයා අතින් විවෘත කරන්න හිටියත්, අන්තරේ විරෝධය හමුවේ අඩියක්‌ පස්‌සට ගත්තා නේද?

පිළිතුර - නෑ... නෑ, වැරදියි. මේ විශ්වවිද්‍යාලය පිහිටුවන්න කටයුතු කළේ බ්‍රිතාන්‍යයේ 

රුක්‌ලාන් විශ්වවිද්‍යාලයේ අයයි. ඒ අයට පොඩි වැරදීමක්‌ වුණා. ඒක අයිති රජයට. රුක්‌ලාන් සරසවියේ චාන්සලර්වරයා රජ පවුලේ ළඟම මිත්‍රයෙක්‌. ඔහු තමයි කිව්වේ මේ විවෘත කිරීම චාල්ස්‌ මාර්ගයෙන් කරවන්නම් කියලා. නමුත් මේක පාර්ශවීය ගිවිසුමක්‌ හරහා එන එකක්‌ නිසා, ඒ වගේ දේකට රජ පවුලේ අය මැදිහත් නොවන බව කිව්වා. ඒ නිසා විදේශ ඇමැතිවරයා ඇවිත් ඒක කළා. මමයි, එංගලන්ත විදේශ ඇමැතිවරයායි ඒ විවෘත කිරීම කළා. දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. අන්තරය වලිගේ පාග ගත්තා ඒ අය හින්දා වැඩේ නතර වෙයි කියලා.

ප්‍රශ්නය - ඒත් ඇමැතිතුමා ඔබ අධ්‍යාපනය විකුණන්න යනවා කියන කාරණයේදී අන්තරය වලිගේ පාගගෙන නෑ නේද?

පිළිතුර - හරියටම හරි. ඔබ හරියටම හරි. අපි අධ්‍යාපනය විකුණන්න තමයි යන්නේ. මේ රටේ සල්ලි තියෙන අයට අධ්‍යාපනය විකුණන්න තමයි අපි යන්නේ. ඒකෙන් රටටත් ආදායමක්‌ ලැබෙනවා. අද රටේ එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ උසස්‌ පෙළ සමත් වෙනවා. මේ අය උසස්‌ අධ්‍යාපනයට සුදුසුකම් ලබනවා. නමුත් මේ අයගෙන් අපි ගන්නේ විසිපන්දහසයි. එතකොට අනිත් අයට ඒකට අවස්‌ථාව අහිමිවෙනවා. මේ හිරවන පිරිසගෙන් කොටසක්‌ උසස්‌ තාක්‍ෂණ ආයතන ආදියට තව පන්දාහක්‌ ගියත්, වැඩි පිරිසකට උසස්‌ අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව අහිමි වෙනවා. එතකොට ඒ අයගෙන් තවත් පිරිසක්‌ කරන්නේ විදේශ අධ්‍යාපනය සඳහා රටෙන් පිටව යැමයි. මේකට නිශ්චිත සංඛ්‍යා ලේඛන නෑ, අපි මේ වෙනකොට ඒක තානාපති කාර්යාල හරහා සොයාගෙන යනවා. එතකොට මේ අය අපේ රටේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක්‌ ඒකට වියදම් කරනවා. අපේ රටට විදේශ විනිමය එන්නේ කෘෂිකර්මය, ඇඟලුම්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන සල්ලි වලින්. ඒ ඉතා සීමිත ප්‍රමාණයක්‌. ඒ සල්ලි ආපහු පිටරටට යනවා අධ්‍යාපනය නිසා. ඒ විතරක්‌ නෙවෙයි අපේ රටට වඩා ආර්ථිකය අතින් පහළ තිබෙන රටවලට පවා සමහරු යනවා, ඒ රටවල වියදම් අඩු නිසා. එතකොට මේ ඉසෙඩ් ස්‌කෝර් අගය යන්තමින් අඩු උසස්‌ අධ්‍යාපනය ලබන්න ආදායමක්‌ නැති අයට "බැංකු ණයක්‌" අරගෙන හරි මේ රටේ අධ්‍යාපනය ලබන්න අවස්‌ථාව සලසා දීම අපරාධයක්‌ද?

රට ගිහිල්ලා පවුල් ගණන් නැතිවෙලා යන්න ඉඩ හරින්නද? මේ අපේ ළමයි, ඒ නිසා අපිට යුතුකමක්‌ තියෙනවා මේ රටේ රාජ්‍ය නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරලා ඒවාට සල්ලි දීලා ගිහිල්ලා මේ රටේ උපාධි කරන්න ඉඩකඩ සලසා දීම. එතකොට ඉතා අවම වියදමකින් ඕනෑම උපාධියක්‌ මේ රටේදී කරගන්න පුළුවන්. එතකොට මම අහන්නේ මේ ළමයින්ට මේ අවස්‌ථාව දීම වැරැදිද? මේ විශ්වවිද්‍යාල ළමයින් හිතනවනම් අපිට විතරයි මේක කරන්න පුළුවන් වෙන එකෙකුටවත් දෙන්න බෑ කියලා, නෑ... ඒක වැරැදියි. ඒ ළමයින්ටත් අයිතියක්‌ තියෙන්න ඕන ඉගෙන ගන්න. ඒකට ලෝකයම තෝරාගත්ත ක්‍රමය තමයි, රාජ්‍ය නොවන පෞද්ගලික අංශයට මේකට අවස්‌ථාවක්‌ දීම.

ප්‍රශ්නය - ඒත් ඇමැතිතුමා දැන් එතන තියෙන ගැටලුව, එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල අරින අතරවාරයේ රටේ උගතුන් බිහිකරන්න දායක වෙච්ච කීර්තිමත්ම විශ්වවිද්‍යාලවලට අඩු සැලකිලි දෙන එකනේ. අඩුම වශයෙන් ඒවා දියුණු කරලා ඔය ව්‍යාපෘතිවලට යන්න තිබුණේ නැද්ද?

පිළිතුර - නෑ. ඒ කතාවත් වැරැදියි... ඔබ කතාකරන්නෙත් කරුණු සොයා නොබලා...

ප්‍රශ්නය - මේවා සිසු උද්ඝෝෂණවලදී නිතර ඇහෙන කතා.

පිළිතුර - ඔය ඉගෙන ගන්නේ නැති අය කිහිපදෙනෙක්‌ එකතුවෙලා කතා ටිකක්‌ කිව්වට ඒවා ඇත්ත නෙවෙයි. ඔබ මම මේ කියන කාරණා අධ්‍යයනය කරන්න. මේ වෙනකොට අපි විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සියයට තුන්සීයකින් වැඩිකරලා තියෙනවා. පසුගිය අයවැයෙනුත් විශාල මුදලක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා. ඒ විතරක්‌ නෙවෙයි විශ්වවිද්‍යාල 15 ක සිසුන් සඳහා නේවාසිකාගාර ඉදිකරන්න රුපියල් මිලියන 15,000 ක්‌ වෙන් කළා. මඩුවක පටන්ගත්ත රජරට වෛද්‍ය විද්‍යාලයට ලංකාවේ හොඳම මහාචාර්යවරු ලබා දුන්නා. ඊට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල දෙකක්‌ අපි ආරම්භ කරනවා. පේරාදෙණිය පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයක්‌ ආරම්භ කරන්න මේ අයවැයෙන් මුදල් වෙන් කළා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ අලුතින් ඉංජිනේරු පීඨයක්‌ පටන් ගත්තා. යාපනය ඉංජිනේරු පීඨයේ ගොඩනැඟිලි හදාගෙන යනවා. මම මේ අමාත්‍යාංශය බාර ගන්න කොට ත්‍රිකුණාමලය හා වවුනියාවේ මණ්‌ඩප දෙක තිබුණේ ළදරු පාසල් වගේ. අද ඒවා කොච්චර දියුණු මට්‌ටමේද කියලා හොයලා බලන්න පුළුවන්. වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය විශාල දියුණුවක්‌ ලබලා. ලබන වසරේ සිට ශ්‍රීපාලිය සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. ජනාධිපතිතුමා රුපියල් බිලියන 15.8 ක්‌ දුන්නා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කරන්න. ඒකේ වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ එක එක වැඩකට නැති කණ්‌ඩායම් එක්‌ක එකතුවෙච්ච කාලකණ්‌ණි කිහිපදෙනෙක්‌ හැරුණු කොට බහුතරයක්‌ ශිෂ්‍ය ප්‍රජාව මේ ගැන අවබෝධ කරගෙන ඉන්නේ. මේ කරන්න හදන්නේ ඒ සාමාර්ථ අරගෙනත් විශ්වවිද්‍යාල වරම් අහිමි වෙච්ච දරුවන්ට අඩු මිලකට උපාධියක්‌ ගැනීමේ අවස්‌ථාව අහිමි කිරීමයි. මේ වෙනකොටත් පෞද්ගලික ආයතන පනහකින් විතර උපාධි පිරිනමනවා. අපි එහෙම කළා කියලා මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටෙන්න ඉඩ දෙන්නේ නෑ.

ප්‍රශ්නය - ඇමැතිතුමා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බැංකු ණය හරි හදලා දෙනවා කිව්වට, ඒක ප්‍රායෝගික කාරණයක්‌ වෙයිද? දැනට එහෙම නිශ්චිත වැඩපිළිවෙළක්‌ තියෙනවා කියලා අපි දන්නේ නෑ.

පිළිතුර - අපි මේකට විශේෂ පනතක්‌ හදලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා එතනින් අනුමැතිය ලැබුණට පස්‌සේ පාර්ලිමේන්තුවට දාන්න ලෑස්‌තිකරලා තියෙන්නේ. හැබැයි මුදල් අමාත්‍යාංශය මේක ටිකක්‌ පහුකරන්න කියලා කියනවා. මොකද බැංකු මේකට යම් තරමක බයක්‌ තියෙනවා. මොකද බැංකු ණය ගෙවන්න වෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්‌සෙනේ. අන්න ඒ නිසා පොඩි ප්‍රමාදයක්‌ තියෙනවා.

ප්‍රශ්නය - ඒ නිසා තමයි මම ඇහුවේ ප්‍රායෝගික නෑ නේද කියලා.

පිළිතුර - නෑ වැඩේ ප්‍රායෝගිකයි. ආරම්භ කිරීමේ ප්‍රමාදයක්‌ තියෙන්නේ.

ප්‍රශ්නය - ඒත්, මේ මොනතරම් තර්ක ඉදිරිපත් කළත් ඉසෙඩ් ස්‌කෝර් අගය භාවිත කරමින් ආණ්‌ඩුව කරන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් කප්පාදු කිරීමක්‌ කරන්නය කියන චෝදනාව තියෙනවා. ඇත්තටම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් සිසුන් ඇතුළත් කරගැනීමේ උපක්‍රමයක්‌ නේද මේ?

පිළිතුර - කිසිම තර්කයක්‌ නැති, මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැතුව ගේන තර්කයක්‌ තමයි ඔය. ඔය චෝදනාව ගේන්නේ "අන්තරය" කියන ගුබ්බෑයමේ ඉන්න පිරිසක්‌. මම ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වෙලා ඉන්න කාලේ අන්තරය කියන්නේ පනතේ තිබ්බ එකක්‌. දැන් එහෙම එකක්‌ නෑ. ඒ නිසා ඔය ගුබ්බෑයමේ ඉඳලා ගේන තර්ක අපිට පිළිගන්නත් බෑ, ඒකෙ ශිෂ්‍යයොත් නෑ. එතන ඉන්නේ උපාධිය ගන්න බැරි, හත්අටසැරේ ෙµaල් වෙච්ච කාලකණ්‌ණි ටිකක්‌.

දැන් ඔය කාලකණ්‌ණිම තමයි, ඉසෙඩ් ස්‌කෝර් සම්බන්ධයෙන් දැන් තියෙන ප්‍රශ්නයට වගකියන්න ඕන. මේ මෑතදී මාව හම්බවෙන්න ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සීයක විතර පිරිසක්‌ පෙරටුගාමී එකට ජවිපෙ එකට, අන්තරයට සාප කරනවා. ලංකා ගුරු සේවා සංගමයට සාප කරනවා. අපි අලුත් හා පරණ සිලබස්‌ (විෂය නිර්දේශ) දෙකම එකට අරගෙන එක ඉසෙඩ් ස්‌කෝර් එකක්‌ හැදුවා. ඒක හැදුවේ කටුබැද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ, කැලණියේ, පේරාදෙණියේ, ජයවර්ධනපුර සරසවි වල ගණිතය පිළිබඳව මහාචාර්යවරු පිරිසක්‌ එකතුවෙලා. මේකට අර පේරාදෙණියේ තටිල් සම්බන්ධකර ගත්තේ නෑ කියලා පොඩි ප්‍රශ්නයක්‌ වුණා. ඊළඟට කොහොම හරි මේකට නඩු දැම්මා. එතකොට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක තීන්දුවක්‌ දුන්නා. ඇත්තටම ඒ තීන්දුව වැරදියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් මේ ඉසෙඩ් ස්‌කෝර් එක හදපු මහාචාර්ය කුලතුංග වගේ අය කිව්වා මේ තීන්දුව පිළිගන්න බෑ කියලා. ඒ නිසාම පරණ සිලබස්‌ එක ලියපු ළමයින්ට විශාල අසාධාරණයක්‌ වෙලා තියෙනවා. අපිටත් හරිම වේදනාවක්‌ මේ කාරණය. ඒක කළේ ජේවීපි එක. ඒක කළේ අන්තරය පෙරටුගාමී නඩය, ලංකා ගුරු සංගමය වගේ අය එකතුවෙලා. අද ඒ ළමයින්ට පුදුම අසාධාරණයක්‌ වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ මේක අධිකරණ තීන්දුවක්‌.

ප්‍රශ්නය - පරණ නිර්දේශයේ ළමයි නෙවෙයි, ඇමැතිතුමා ඉදිරියට සියලු සිසුන්ගේ කප්පාදුවක්‌ වෙන්නේ නැද්ද?

පිළිතුර - නෑ... ඒත් මෙහෙම දෙයක්‌ වෙනවා. ඉසෙඩ් ස්‌කෝර් එක හදලා තියෙන්නේ උසස්‌ පෙළ විභාගයේ තියෙන දැඩි තරගකාරී බව නිසා. සමහර ළමයි ලේසි විෂයයන් හොයාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුල්වෙන්න බලනවා. ඒ අවස්‌ථාව මේ ඉසෙඩ් ස්‌කෝර් එකෙන් වැලකෙනවා. අපි හිතමු කිසියම් වෙලාවක යම් විෂයයන් දෙකක්‌ අමාරු වුණොත් ඒ වෙලාවේ ඒ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙනවා. කිසියම් විෂයක්‌ ලේසි වුණොත් ඒ ළමයි විශ්වවිද්‍යාලවලට යනවා. මෙන්න මේ සියලු අවස්‌ථාවන් ඉසෙඩ් ස්‌කෝර් නිසා වැලකෙනවා. හැබැයි මේකෙන් සියයට සීයක්‌ වලක්‌වන්න බෑ. 

ඒත් සියයට 99 ක්‌ වැලකෙනවා. කිසියම් විෂයක්‌ ලේසි වුණා කියලා අගය වැඩි වෙන්නේ නෑ, විෂයක්‌ අමාරු වුණා කියලා අගය අඩුවෙන්නෙත් නෑ, ලේසි විෂයන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලවලට පනින්න යන අයට ඒ හොරකම කරන්නත් බෑ. දැන් මේ වතාවේ 2000 ක්‌ විතර කළමනාකරණ විෂය හදාරපු ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලවලට තේරිලා නෑ, ඒ අය ගණකාධිකරණ විෂය අතහැරපු අය. ඒ තුනයි හැබැයි විශ්වවිද්‍යාලවලට තේරිලා නෑ, මෙන්න මේ කාරණය මිසක්‌ අපි කප්පාදුවක්‌ කරන්නේ නෑ.

ප්‍රශ්නය - හැබැයි විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන සංඛ්‍යාව අවම වෙනවා.

පිළිතුර - මෙහෙමනේ, අමාරුම විෂයන් කරනවා කියන්නේ දැනුම තියෙන දරුවන් සරසවිවලට එනවා කියන එක. ඒත් අනිත් අයත් අපි අතහරින්නේ නෑ, ඒකට හේතු ගණනාවක්‌ මම ඔබට කිව්වා. උදාහරණයක්‌ හැටියට අපි තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කරන්නේ, ප්‍රායෝගික හා රැකියාවලට සුදුසු ශිෂ්‍යයන් බිහිකිරීමේ අරමුණින්.

සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර, උදේශ සංජීව ගමගේ
උපුටා ගැනීම

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>