අධ්‍යාපන වෙළඳ කලාප වලට අන්තරේ විරෝධය..


වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම මේ වන විට එලි පිටම සිදු කිරීමට තරම් වත්මන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය කටයුතු කරමින් සිටී. ඒ අනුව එක පැත්තකින් පසුගිය කාල වකවානුවේ ගෙන ආ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කර ගත නොහැකි වූ තැන ඔවුහු විවිධ නම් වලින් ගෙන ආ ගැසට් පත්‍ර මගින් ජනතාව රවටමින් එම අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කලහ.

මෙම අධ්‍යාපනය විකිණීම වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කරමින් අලුත්ම පියවර වන්නේ රට තුල අධ්‍යාපනය විකිණීම සඳහා “අධ්‍යාපන වෙළඳ කලාප ” 6 ක් ආරම්හ කිරීමට ආණ්ඩුව සැලසුම් කිරීමයි. එහි පළමු අධ්‍යාපන වෙළඳ කලාපය සඳහා අද (16) මීරිගම දී මුල් ගල තැබීමේ සුදානමක් ආණ්ඩුව සතු විය. ඒ බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමාරයාගේ මැදිහත් වීමෙනි.

CHOGM වලට මුවාවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමුනේ ද මෙම වෙළඳ කලාප වලට එරෙහි වන විශ්වවිද්‍යාල ප්‍රජාව නිහඬ කිරීමේ අරමුණිනි. නමුත් ශිෂ්‍ය විරෝධතා නිසා ආණ්ඩුවේ එම වැඩපිළිවෙල තාවකාලිකව පසුපසට ගෙන ඇති බව පෙනේ. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුළුමනින්ම හකුලා ගැනීමක් නොවන අතර ඉදිරියේදී එය කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව සිටී. මෙය විශාල අනතුරක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දකින අතර, නමුත් මෙම අධ්‍යාපන වෙළඳ කලාප සහ ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීම, ඒ සඳහා කරනු ලබන නින්දිත ශිෂ්‍ය මර්දනය ට එරෙහි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල විරෝධතා අද (16) දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ඒ අනුව මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර සහ අනුරාධපුර නගර වලදී මෙම විරෝධතා පැවැත්විණ.

“ආණ්ඩුව මේ වෙද්දී සුදානම් වෙන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරලා වෙන්දේසියේ දාලා විකුණන්න, එකේ ප්‍රතිපලය තමයි මේ රටේ සෑම දරුවෙකුගේම අයිතියක් වෙලා තිබුන අධ්‍යාපනය සුළුතරයකගේ වරප්‍රසාදයක් බවට පත් වෙන එක . එකේ අවසාන ප්‍රතිපලය තමයි මේ රටේ පීඩිත ජනතාවගේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය අහිමි වෙන එක. CHOGM අස්සේ විශ්වවිද්‍යාල වහලා දාලා උද්ඝෝෂණ තහනම් කරලා දැවැන්ත මර්දනයක් දියත් කරලා ආණ්ඩුව අධ්‍යාපන වෙළඳ කලාප ඇති කරන අරමුණ ඉෂ්ට කරගන්න හදනවා. ආණ්ඩුව, නිදහස් අධ්‍යාපනය රකිනවා , රටේ දරුවන්ට සුභ අනාගතයක් හදනවා කියල ජනතාවට බොරු බේගල් ඇද බාලා කරන්නේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කොල්ල කන එක. දේශප්‍රේමී කියන මේ මහා ලොකු පාලකයෝ චාර්ල්ස්ලට පාවාඩ දාලා පිළිගෙන අධ්‍යාපනය විකුණන අධ්‍යාපන වෙළඳ කලාප ඔහු අතින්ම ආරම්භ කිරීමට සැරසීම ඉතා කණගාටුදායක තත්ත්වයක්. මේ වෙළඳ කලාප ආරම්භ කරන්නේ මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න නෙවෙයි. එකේ අරමුණ තමයි ධනපතියන්ට අධ්‍යාපක්ෂේත්‍රය තුලත් මේ රටේ ජනතාව කොල්ල කන්න ඉඩ කඩ විවර කරලා දෙන එක. මේ වෙළඳ කලාප වල සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න බෑ, මොකද මෙවගේ අධ්‍යාපනය විකිනෙන්නේ කෝටි ප්‍රකෝටි ගාණට. හරි පැහැදිලි ආණ්ඩුවේ මේ කාගේ අරමුණුද ඉෂ්ට කරන්නේ කියලා. මේ රටේ පාසල් වලට විශ්වවිද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන කපලා ඒවා වැහිලා යන්න ඇරලා මේ වෙළඳ කලාප වල ආයෝජනය කරන ධනපතියන්ට නොමිලේ ඉඩම් දෙද්දී , බදු සහන දෙද්දී, ණය ආධාර දෙද්දී එක පේනවා. ඒ නිසා අපි කියනවා මේ වෙළඳ කලාප ආරම්භ කරන්න ඉඩ දුන්නොත් මේ රටේ අධ්‍යාපන මුළුමනින්ම වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. එක මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අවසානය විතරක් නෙවෙයි මේ රටේ පොදු ජනතාවගේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය කොල්ල කන තීරණයක්. ඒ නිසා මේ රටේ දරුවන්ගේ අනාගතය පැත්තෙන් සලකද්දී, මේ රටේ දියුණු ගැන සලකද්දී ඉතාම විනාශකාරී තීරණයක් හැටියට අධ්‍යාපන වෙළඳ කලාප ආරම්භ කිරීමේ උත්සාහය දකිනවා. ඒ නිසා තමයි ඒ විනාශය නවත්තන්න අපි උද්ඝෝෂන ව්‍යාපාරය පවත්වන්නේ. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කොල්ල කන , අධ්‍යාපන වෙළඳ කලාප ආරම්භ කිරීම වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කර සිටිනවා. එහෙම නොවුනොත් මීට එහා ගිය දැඩි ක්‍රියාමාර්ගවලට සුදානම් කියන එකත් අවධාරණය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවගෙන් දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා, ඔබේ දරුවාගේ අධ්‍යාපන අයිතිය කොල්ල කන මේ වැඩපිළිවෙලට එරෙහිව එකතු වෙන්න පෙළ ගැහෙන්න කියලා .

එසේ අදහස් පල කලේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයයි. ඒ මහනුවර පැවැති විරෝධතාවට එක් වෙමිනි.

මහනුවර පැවති විරෝධතාව අතරතුර අදහස් පල කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර සහෝදරයා,

“ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් උද්ඝෝෂණ තහනම් කරලා, ජනතාවට සාමකාමීව රැස් වීමට ඇති අයිතිය විනාශ කරලා තියෙන මොහොතක අපි මේ විදියට විරෝධතාව දක්වන්නේ මේ රටේ අධ්‍යාපන අයිතිය දිනා ගැනීම වෙනුවෙන්, අධ්‍යාපනය විකුණන්න ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලට, අධ්‍යාපන වෙළඳ කලාප වලට එරෙහිව තමයි අද දවසේ මේ විදියට අපි පෙළගැසී ඉන්නේ. ඒ අනුව නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ සටන ඉදිරියට ගෙනියන්නත් ශිෂ්‍ය ව්‍යපාරය විදියට සටන් කරන බව අපි කියනවා... ”

රත්නපුර නගරයේ දී පැවති විරෝධතාව අතර තුර රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජීවන්ත විතානාච්චි සහෝදරයා මෙසේ අදහස් පල කළේය.

“1977 නව ලිබරල් ධනවාදය මේ රටට හදුන්වලා දුන්නට පස්සේ හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය විකුණන්න කටයුතු කළා. අධ්‍යාපන ධවල පත්‍රිකාව, තාරා - හැරල්ඩ් වාර්තාව වගේම වත්මන් ආණ්ඩුව 2011 වර්ෂයේ ගෙන ආ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත , ගැසට් පත්‍රය හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න බළධාරීන් උත්සහා කලා. මේ වෙද්දී බොරු සංදර්ශන තියන ආණ්ඩුව අධිරාජ්‍ය වාදී ගැති චාර්ල්ස් ගෙන්නලා අධ්‍යාපන විකුණන වෙළඳ කලාප ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ අනුව සමස්ත අධ්‍යාපනය විකුණලා සාතිශය බහුතරයක් අධ්‍යාපනයෙන් පිටමන් කරලා අධ්‍යාපනය සුලුතරයකගේ වරප්‍රසාදයක් කරන්න තමයි මේ හදන්නේ, ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්නෙත් මේ අරමුණ ඉටු කර ගන්න, ඒ හරහා සමාජයක් විදියට පිරිහීමට ලක් වෙනවා....”

මේ අතර වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මොහොමඩ් රකාන් සහෝදරයාද මේ පිලිබඳ අදහස් පල කලේ කුරුණෑගල නගරයේ පැවති විරෝධතාව අතරතුරය.

“ බොරු හේතු සඳහන් කරලා සතියක කාලයක විශ්වවිද්‍යාල පද්ධතිය වහලා දාන්න ආණ්ඩුව කටයුතු කලේ අධ්‍යාපන වෙළඳ කලාප කිසිම විරෝධයක නැතිව ආරම්භ කලා කියන්න. නමුත් මේ අධ්‍යාපන වෙළඳ කලාප වලට විරෝධය පල කරන්න තමයි අද අපි මේ විදියට කුරුණෑගල නගරයට එකතු වුනේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විදියට. ඒ අනුව අපි ආණ්ඩුවට කියනවා වහාම මේ අධ්‍යාපන වෙළඳ කලාප යෝජනාව හකුලා ගන්න කියලා, එහෙම නොවුනොත් ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි අනිත් සියලු බලවේග එකතු කරලා දැඩි ක්‍රියාමාර්ග වලට අවතීරණය වන බවත් අපි ආණ්ඩුවට කියනවා.... ”

අනුරාධපුර නගරයේදී ද අධ්‍යාපන වෙළඳ කලාප වලට එරෙහි විරෝධතා පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ ඉසුරු බණ්ඩාර සහෝදරයා 


“පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව කියලා බොරු සංදර්ශන තියන ආණ්ඩුව ඊට මුවා වෙලා මේ වෙද්දී අධ්‍යාපනය විකුණන්න අධ්‍යාපන වෙළඳ කලාප ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා, එකට විරෝධය පන්න තමයි අද අන්තරේ විදියට අපි මේ විරෝධතාව දක්වන්නේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමකුත් අද දවසේදී අපි සිදු කරනවා, ඒ අනුව අධ්‍යාපන වෙළඳ කලාප ඇතුළු අධ්‍යාපනය විකිණීම ආණ්ඩුව වහාම නැවැත්තුවේ නැත්නම් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වලට යන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට සුදානම් බව මේ රටේ ආණ්ඩුවට කියනවා..”

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>