යාපනය විශ්වවිද්‍යාලය මාසයක් වසා දැමීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු-අ.වි.ශි.බ.ම


2013 නොවැම්බර් 11වන දින සිට දෙසැම්බර් 02 දින දක්වා යාපනය විශ්වවිද්‍යාලය වසා දැමීමට ආරක්ෂක අංශවල බලපෑමෙන් විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා හේතුවී ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සැමරීම වැලැක්වීමයි. පසුගිය වර්ෂයේදී ද මෙවැනිම සිදුවීමක් සිදුවූ අතර මහවිරු දිනයට සමගාමීව පවත්වන ලද උත්සවයකට කඩා වැදී ආරක්ෂක හමුදා සිසුන්ට අමානුෂිකලෙස පහරදීමටත් ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළහ. මෙම විශ්වවිද්‍යලය වසා දැමීමද එහිම දිගුවකි.

මෙම තීරණය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස පිළිබඳව ඉතිහාසයට කළු පැල්ලමක් එකතුකරනු ඇති අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප මෙම මුග්ධ තීන්දුව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.


එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් අප විසින් අනුමත නොකළත් දෙමළ ජනතාවට තම මියදුණු ජනතාව/සිය මියදුණු ඥාතීන් සැමරීමට ඇති අයිතියට අපි ගරු කරමු. එසේම ඔවුන්ගේ අරගලයේ වු ජාතිවාදී හා ප‍්‍රචන්ඩකාරී ලක්ෂණ පරාජය කළ හැක්කේ හා ඔවුන් ප‍්‍රජාතන්තීය දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට ගෙන ආ හැක්කේ මෙවැනි ඔවුනගේ අයිතීන් උල්ලංගණය කිරීමෙන් නොව ආරක්ෂා කිරීමෙන් යැයිද අපි සිතමු.

යුද්ධයක් යනු යුද්ධයක්ම වන අතර කවර ආකාරයකින්වත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් එය අනුමත නොකරයි. යුද්ධයකදී කවර පාර්ශවය නිවරදිදැයි සාකච්ජා කිරීම නිෂ්ඵල කටයුත්තක් වන අතර එයින් සෑම පාර්ෂවයකටම අත්වන්නෙ විනාශයම පමණි. ඒ නිසා මානව සමාජයට හා මානව වර්ගයාට වගවන හා ආදරය කරන පුද්ගලයන්ට හෝ ව්‍යාපාරවලට ජන ඝාතක යුද්ධ අනුමත කිරීමේ හැකියාවක් නැත. උතුරේ යුද්ධය පිළිබඳ අපගේ ස්ථාවරය වන්නේ එයයි.

මේ යුද්ධය නිර්මාණය කළේ සිංහළ දෙමළ මුස්ලිම් ජාතිවාදී බලලෝභී පාලක පංතිය මිස මෙකී යුද්ධයේ යකඩ සපත්තුවට පෑගුණු හෝ ගිණි උණ්ඩවලින් පිලිස්සී ගිය අහිංසකයින් නොවේ. ඒ නිසා අවසානයේදී ආයුධ අතට ගෙන උනුන් මරාගත් එල්.ටී.ටී.ඊ හෝ හමුදා සෝල්දාදුවන් චූදියන් කිරීම සාදාරණ නොවන අතර මේ අපරාධයන්හි වගකීම බාරගතයුත්තේ සිය පටු බලලෝභී අරමුණු වෙනුවෙන් ජාතිවාදය වැපුරූ හා දැනටත් එසේ කරන ජනවර්ග තුනටම අයත් පාලකයෝය. 

නමුත් කෙසේ හෝ මේ කාලකන්නි යුද්ධයේ ප‍්‍රතිඵයක් ලෙස සිංහල දෙමළ මුස්ලිම් වටිනා ජීවිත දහස් ගණනක් රටට අහිමි විය. ඒ අහිමිවූ සෑම ජීවිතයකටම වටිනාකමක් තිබෙන අතර ඔවුන් වෙනුවෙන් තවමත් හඩා වැලපෙන, ලතැවෙන පසුතැවෙන කුමනහෝ මිනිස් හදවතක් මේ මහපොළව මත තිබෙන බවද අප පිළිගත යුතුය. එසේම ඔවුන්ට ඒ මියගිය සිය ඥාතීන් වෙනුවෙන් හඩන්න වැලපෙන්න සේම සමරන්න තිබෙන අයිතිය අපි පිළිගත යුතුය. සිංහල දෙමළ මුස්ලිම් කිසිඳු බේදයකින් තොරව බල්ලන් බළලූන් සේ මිනිසුන් මරාදමන, මිනිස් ජීවිතයක තබදොයිතුවක් තරම්වත් වටිනාකමක් නොදකින ජන ඝාතක පාලකයන් කුමක් කීවද මනුෂ්සත්වය අගයන කිසිවකුත් ඒ නිසා තීන්දු අනුමත නොකරනු ඇත. 

සිංහල ජනතාවට මියගිය සෝල්දාදුවන් සිහිපත් කරන්නට අයිතියක් තිබේද ඒ අයිතියම දෙමළ ජනයාටද ඇත. යුද්ධයක් යනු දෙපාර්ෂවයක් අතර සිදුවන්නකි. ඒ කිසිඳු පාර්ෂවයක් අනෙක් පාර්ෂවය අනුමත නොකරයි. ගරු නොකරයි. යුද්ධයක් නිර්මාණය වන්නේද එකී ප‍්‍රතිවරෝධයන් නිසාය. එසේනම් කිසිදු පාර්ෂවයකට අනෙක් පාර්ෂවය සතුරන් ලෙස මිස වීරයන් ලෙස නොපෙනේ. මියදුනු සතුරු පාර්ෂවයේ සාමාජිකයා දෝහියකුද සිය පාර්ෂවයේ සාමාජිකයා වීරයකුද වේ. ඒ අනුව පිළිගත යුත්තනම් දෙමළ ජනතාවට යුද්ධයේදී මියදුණු දෙමළ සෝල්දාදුවන් වීරයන් බවයි. එය වෙනස් කළ හැක්කේ දෙපාර්ෂවය අතර වන අනොන්‍ය අවබෝධය තුළිනි. දුරස්වීමට බලපෑ කොන්දේසි අහෝසි කිරීමෙනි. දෙපාර්ෂවයම දෙපාර්ෂවයට ගරුකරන්නේ නම් පමණි. නොඑසේව ජයග‍්‍රාහී පාර්ෂවයේ බලහත්කාරය මත පරාජිත පාර්ෂවයේ සිතුම් පැතුම්, හැසිරීම්, ඇවතුම් පැවතුම් තීරණය කිරීමට යාම තුළ සිදුවන්නේ යළි යළිත් සතුරුභාවයන් වර්ධනය වීමයි. නැවත ජනඝාතක යුද්ධයකට පාර කැපීමයි. ඒ නිසා එවැනි ඕනෑම තීරණයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන්නාසේම මනුෂ්සත්වටද එරෙහි වේ. ඒ නිසා අප දෙමළ ජනතාවට සිය වීරයන් සැමරීමට ඇති අයිතිය පිළිගතයුතු අතර එය ත‍්‍රස්තවාදයක් නොවේ. 

එසේම දෙමළ ජනතාව යළිිත් ආයුධ අතට ගැනීමට ඇති අවධානම පහවනු ඇත්තේ මෙවැනි මුග්ධකම්විලින් නොව ඔවුගේ සිවිල් අයිතිවාසිකම් ලබාදීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම, අනෙකුත් සමාජ ආර්ථික ප‍්‍රශ්න විසඳීම හා උතුරේ රාජ්‍ය ත‍්‍රස්තවාදය අවසන් කිරීම තුළින්ය. එසේ නොවී ගන්නා මෙවැනි ජාතිවාදී තින්දු පෙරලා දෙමළ ජාතිවාදය ප‍්‍රතිපෝෂණය කරයි. එය නැවත යුද්ධයක් සඳහා පසුබිම නිර්මාණය කරීමකි. පාලක පංතිය එයට කැමති බව අපි දනිමු. මන්දයත් ඔවුන්ට සිය කොල්ලකාරී පැවැත්ම ආරක්ෂාකරගත හැක්කේ සිය සූරාකෑමට යටත් පීඩිතයා තුළ වන අසමගිය තුළින් වන නිසාවෙනි. පීඩිත සියලූ ජනයා මුහුණ දෙන ප‍්‍රශ්නවලට වගකිව යුතු සැබෑ සතුරන් වන ජනවර්ග තුනටම අයත් පාලක පංතියට එරෙහිව පීඩිතයා ඒකරාශී නොවන තුරු, ඒ වෙනුවට සිංහලයාගේ සතුරා දෙමළා ලෙසත් දෙමළාගේ සතුරා සිංහලයා ලෙසත් දකින තුරු හා උනුන් ඇණ කොටාගන්නා තුරු පාලක පංතියට සිය පැවැත්ම පිළිබඳ අභියෝගයක් නැත. නමුත් මේ යථාර්තය තේරුම් තනිමින් පීඩිත ජාතික ප‍්‍රජාවන් ඒකරාශී වුවහොත් එය පාලක පංතියට මාරාන්තික වේ. ඒ නිසා ඔවුන් හැම විටම ජාතිවාදය ඇවිලවීම හා පවත්වාගෙන යාම සිදු කරයි. යාපනය විශ්වවිද්‍යාලය වසා දැමීම, ඔවුන්ගේ සැමරුම් කඩාකප්පල් කිරීම පිටුපස ඇත්තේ එකී අරමුණු බව අප පැහැදිළි කරගත යුතු අතර ඒ තුළින් ඇති විය හැකි විනාශය වලක්වාගැනිමට නම් අප කවුරුත් ජාතිබේදයකින් තොරව මෙවැනි මුග්ධ තීන්දුවලට එරෙහි විය යුතුය.

එය ප‍්‍රජාතන්ත‍්‍ර වාදයට ගරුකරන මනුෂ්සත්වය අගයන හා යළිත් ජනඝාතක යුද්ධයකට අකමැති කවුරුත් සතු උදාර වගකීමකි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>