ආණ්ඩුවේ දෙබිඩි බව හෙළිවන බාහිර උපාධි කප්පාදුවට එරෙහිවෙමු-උපාධිධාරී මධ්‍යස්ථානය

වර්තමාන ආණ්ඩුව ඉතා කලබලකාරී ලෙස අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම පසුගිය දිනවල සිට අපේ අවධානයට යොමු විය. විශේෂත්වය වන්නේ එකී අවධානය යොමු කිරීම සද් චේතනාවෙන් නොවී ‘අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක්’ බවට පත්කිරීම සඳහා වන තකහනියෙන් කටයුතු කිරීමයි. ඊට උදාහරණ ඕනෑ තරම් ඇත. එකක් වන්නේ පසුගියදා (2013 අගෝස්තු 23) ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනයයි. ඒ හරහා අධ්‍යාපනය විකිණීමට අදාළ දැක්ම ඉදිරිපත් කර ඇති අතර ඉදිරි අයවැයට අදාළ ‘අධ්‍යාපන වෙළෙඳ කලාප’ යෝජනාවක්ද සැකසෙමින් ඇත. ඒ අතර මෙතෙක් ලබාදුන් බාහිර උපාධි 80% කින් පමණ කප්පාදුවකට සූදානම් වෙමින් පවතී.


අප මේ තත්වය වටහා ගන්නේ වියුක්ත කරුණක් ලෙස නොවේ. පසුගිය වසරේ ආණ්ඩුව විසින් ලබාදුන් උපාධිධාරී පත්වීම් වල පටන් අද දවසේ සිදුවන අධ්‍යාපනය වැනසීමේ සැලැස්ම පුළුල් එකකි. ආණ්ඩුව කිසිදු දැක්මක් නොමැතිව අධ්‍යාපනය, උපාධි රැකියා දීම මතුපිටින් පෙනුනද ඒ සියල්ල මනා සැලැස්මක් අනුව (නවලිබරල් ධනවාදයට) සිදුකරනු ගැඹුරින් බලන්නෙකුට පෙනේ. එහි තවත් ගොදුරකි බාහිර උපාධි කප්පාදුව.

2010 වසර යනු මෙරට අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා අමුඩ ගැසූ වසරකි. 2011 වසරේ ආණ්ඩුව ‘අධ්‍යාපන පෞද්ගලීකරණ’ පණත (පැරද වූ) ගෙන ආවේද ඒ අනුවය. 2010 වසරේ එක් විටම සියලූ විශ්වවිද්‍යාල වලට චක‍්‍රලේඛයක් මගින් දැනුම් දුන්නේ බාහිර උපාධි සඳහා බඳවා ගන්නා සිසුන් වහාම සීමාකරන ලෙසයි. එහි තවදුරටත් සඳහන් කළේ අභ්‍යන්තර සිසුන් මෙන් දෙගුණයක් පමණක් බඳවා ගන්නා ලෙසයි. උදාහරණයක් වශයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාව සඳහා සිසුන් 5000 ක් පමණ වසරකට ලියාපදිංචි වන අතර එකී තීන්දුව අනුව එය සිසුන් 800 ක් පමණ දක්වා පහත වැටේ. අනෙකුත් විශ්වවිද්‍යාලවල තත්වයද එසේමය. මෙහි හාස්‍ය ජනක කරුණ වන්නේ සිසුන්ට උපාධිය ලබාගැනීම වෙනුවෙන් දිවා ? තප්පුලන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින්ම මෙම කප්පාදුව සිදුකිරීමයි. මන්දයත් ආණ්ඩුවම පවසන පරිදි දෙලක්ෂකයක් පමණ වන සිසුන්ගෙන් 21000 ක් පමණ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා අතර ඉතිරි සියල්ල විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වේ. ඊට වරදකරු සිසුවා හෝ සිසුවිය නොව වත්මන් පාලනයයි. එකී සිසුන්ද විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ නම් එකී සිසුන්ට බාහිර උපාධි කිරීමට අවශ්‍යතාවයක් නැත. නමුත් තමන්ගේ නොහැකියාව වසා ගන්නා ආණ්ඩුව දැන් එය තමන්ගේ උපාය මාර්ග වෙනුවෙන්ද නිර්ලජ්ජිතව යොදා ගනී.

මෙසේ 2010 වසරේ ගත් තීන්දුව මතුවූ විරෝධතා හේතුවෙන් නැවැත් වු අතර මේ වසරේ එය කි‍්‍රයාත්මක වීමට පටන්ගෙන ඇත. විශේෂත්වය වන්නේ 2010 වසරේ සීමාකිරීමට ක‍්‍රමවේදයක් නොවූ බවයි. අලූත් තත්වය වන්නේ එකී ප‍්‍රමාණය අඩුකිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමෙන් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස දැන්වීමයි. ඒ අනුව විශ්වවිද්‍යාල මගින් ‘කඩයිම් පරීක්ෂණය’ නමින් උගුලක් අටවා ඇත. මෙහි ඇති භයානක කම හමුවන්නේ අප ඉහත දැක්වූ ආණ්ඩුවේ උවමනාව හා සැසදීමේදීය. අධ්‍යාපන වෙළෙඳ කලාප ඇති කර, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ පසු ඒවාට යෑමට සිසුන් අවශ්‍යය. භාණ්ඩ නිෂ්පාදනය කර කරබා ගෙන සිටිය නොහැකි ඒවා මිලදී ගන්නා පාරිභෝගිකයින්ද සිටිය යුතුය. නවලිබරල් ධනවාදයේ දෙවන ඉනිමේ යතාර්ථය එයයි. එනිසා අධ්‍යාපනය විකුණා විතරක් වැඩක් නැත එය මිලදී ගන්නා පිරිසක්ද සිටිය යුතුය.

මෙකී ඛේදවාචකය වහාම පැරදවිය යුතුය. මේ සියලූ ප‍්‍රශ්න වියුක්තව නොව සංයුක්තව ගත යුතුය. උපාධිධාරියාට නොගැලපෙන රැකියා ලබාදීමේ පටන් අධ්‍යාපන ගැසට් පත‍්‍ර, අධ්‍යාපන කලාප හරහා බාහිර උපාධියට ගෙන එන යෝජනා එකම අඩංගුවකි. ඒ නිසා වෙන්වෙන්ව නොව එක්ව සටන් කොට මෙය එකහෙලා පැරදවිය යුතුය. ඒ සඳහා විශේෂයෙන් ආචාර්යවරුන් මෙන්ම දෙමාපියන්ද එක් කරගත යුතුය. ඒ සඳහා පෙරට එමු. ආණ්ඩුවේ අධ්‍යාපන සංහාරය පරදවමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>