භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු හාමුදුරුවොත් රිමාන්ඩ් කෙරේ

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් 09 දින සවස මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ප්‍රතිමාවට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව පවසමින් උන්වහන්සේට ඊයේ මිරිහාන පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. ඒ අනුව පොලිසියට ගිය චන්දානන්ද හිමියන් එම සිද්ධියේ සැකකරුවකු බව පවසමින් අත්අඩංගුවට ගනු ලැබීය. තවත් සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පවසා ඇත.
මේ පිළිබඳව අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු නජිත් ඉන්දික මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ මේ ආකාරයෙන් ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගෙන සිසුන් මර්දනය කරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල  ඇතුළු සමස්ථ අධ්‍යාපනයම පුද්ගලීකරණය කිරීමේ  උත්සාහයක ආණ්ඩුව නියැලෙන බවත් එම උත්සාහය කිසිසේත් සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබා නොදෙන බවත් ය.  හෙට දිනයේ මෙම නීති විරෝධී ආකාරයෙන් සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දිවයින් සියළුම විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ ව්‍යාපාරයන් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>